2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව 13.71%ක වර්ධනයක්

2026 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවේ අපනයන අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.71 ක වර්ධනයක් වාර්තා කරමින් විදේශ වෙළඳ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන සහ මැණික් හා ස්වර්ණාභරණ, ඛනිජ තෙල් නිෂ්පාදන සහ සේවා අපනයන පිළිබඳ ඇස්තමේන්තුගත දත්තවලට අනුව, මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,532.6 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, 2026 ජනවාරි මාසයේදී වාර්තා වූ මෙම ආදායම වාර්ෂික අපනයන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ යහපත් ආරම්භයක් බවයි. ජාත්‍යන්තර වෙළඳපල ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම, අඛණ්ඩ කාර්මික ධාරිතාව සහ උපායමාර්ගික අපනයන සංවර්ධන මුලපිරීම් මගින් රටේ අපනයන අංශයේ වර්ධනය වන තරඟකාරිත්වය මෙමගින් මනාව පැහැදිලි වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

නිසි ප්‍රතිපත්තිමය සහයෝගය සහ වෙළඳපල විවිධාංගීකරණ ප්‍රයත්නයන් සමඟින්, 2026 වසර පුරාම මෙම සාධනීය ප්‍රවණතාව පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව මනාව සූදානම්ව සිටින බවට ඔහු විශ්වාසය පළ කළේය.

2026 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය පෙර වසරට සාපේක්ෂව 10.66% ක වර්ධනයක් වාර්තා කරමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,165.02 දක්වා ළඟා වී ඇත. මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන ඇතුළුව ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව මෙම වර්ධනය සිදුවී තිබේ.

එසේම, 2026 ජනවාරි මාසය සඳහා සේවා අපනයන ඉපැයීම් 24.59% කින් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර එය එක්සත් ජනපද ඩොලර් මිලියන 367.55 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, සහ ප්‍රවාහන හා සැපයුම් සේවා ඇතුළත් සේවා අංශය, රටේ අපනයන විවිධාංගීකරණය කිරීමට සහ දිවයින පුරා ඉහළ වටිනාකමකින් යුත් රැකියා අවස්ථා උත්පාදනය කිරීමට තවදුරටත් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

මූලාශ්‍ර: මෙම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ ශ්‍රී ලංකා රේගුවෙන් ලබා ගන්නා ලදී. 2026 ජනවාරි මාසය සඳහා වන සේවා, මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදනවල අපනයන දත්ත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් ඇස්තමේන්තු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website