
අපි යළිත් අවධාරණය කරනවා ගල්අඟුරු ආනයනයේ දී කිසිම ආකාරයක දූෂණයක් හෝ වංචාවක් සිදුවෙලා නැහැ. අපි නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා නිසි නෛතික පියවර තුළ කටයුතු කරලා තිබෙනවා. නමුත් පසුගිය ආණ්ඩු ගල්අඟුරු ආනයනය කරන විට ඉතාම දූෂිත සහ අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර තිබෙනවා. ඒ නිසා යළි එවැනි යුගයකට යාමට කිසිම හැකියාවක් අපේ ආණ්ඩුව ලබා දෙන්නේ නැහැ.
ජාතික ජන බලවේගය රජයේ විදුලිබල ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
ජාතික ජන බලවේගය පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට පෙර ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ නමින් අපේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වූවා. එහි ‘සුරක්ෂිත බලශක්ති කේන්ද්‍රයක් – තිරසර විනිමය ප්‍රභවයක්’ යන ශීර්ෂ පාඨය යටතේ අපේ බලශක්ති ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබෙනවා. එහි මූලධර්ම තුනක් තිබෙනවා. ඒ අනුව බලශක්තිය අත්‍යවශ්‍ය ජාතික සේවාවක් ලෙස, තිරසර හා සුරක්ෂිත බලශක්ති සැපයුම සහ පරිභෝජනය, බලශක්ති ආර්ථිකය තුළින් විදේශ විනිමය ලෙස අපේ රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කර තිබෙනවා. අපේ ප්‍රධාන අරමුණ තමයි ජනතාවට දරා ගත හැකි මිලකට, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු බලශක්ති සැපයුමක් ලබා දීම. එහි එක කොටසක් ලෙස විදුලිබල ප්‍රතිපත්තිය යම් යම් සංශෝධන සමඟ මහජන සංවාදයට ඉදිරිපත් කර තිබෙනවා. එහිදී අපට විවිධ යෝජනා, විවිධ අදහස් සහ වෙනස් කිරීම් ඉදිරිපත් කර තිබෙනවා. ඒ යෝජනා සහ අදහස් ද සලකා බලා විශේෂඥ කමිටුවක් විසින් බලශක්ති ප්‍රතිපත්තිය සකස් කරමින් සිටිනවා. මේ වාර්තාව ලැබුණු පසු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එය සම්මත කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.
මේ වන විට ගෝලීය වශයෙන් වගේම දේශීය වශයෙන් ද පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් විශාල අවධානයක් තිබෙනවා. ඒ වගේම රජයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ද මේ ගැන විශේෂයෙන් සඳහන්ව තිබෙනවා. එහි වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
ඔව්, ගෝලීය වශයෙන් මෙන්ම ලංකාව තුළ ද පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් විශාල අවධානයක් වගේම අවස්ථාවන් ද තිබෙනවා. ලංකාව ගත්විට, මන්නාරම – යාපනය ආශ්රිත කලාපයෙන් අපේ ජාතික අවශ්‍යතාව මෙන් පස් හය ගුණයකින් පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙන බව අධ්‍යයන දෙකකින්ම සනාථ කර තිබෙනවා. එනිසා අපි මේ සම්බන්ධයෙන් ‘ලොකු බරක්’ යොදලා ඉදිරි වසර කිහිපය තුළ අපට ලබා ගන්න පුළුවන් උපරිම පුනර්ජනනීය බලශක්ති ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. මේ කටයුතු අපේක්ෂිත ආකාරයෙන් ක්‍රියාත්මක වුණත් අනපේක්ෂිත ගැටලුවකට මුහුණදීමට සිදුව තිබෙනවා. සූර්යබල ව්‍යාපෘතිවලින් දිවා කාලයේ දී අවශ්‍ය වන ප්‍රමාණයට වඩා වැඩි වැඩියෙන් විදුලිය නිෂ්පාදනය වෙනවා. මේ අතිරිත්ත විදුලිය බැටරි පද්ධති හරහා ගබඩා කර රාත්‍රීයේ අධික ඉල්ලුමක් ඇති වන කාලයට ලබා ගැනීමට අපි සැලසුම් කරමින් සිටිනවා. මේ වන විට මෙගාවොට් 160ක ටෙන්ඩරයක් අපි ප්රදානය කරලා තිබෙනවා. තවත් ටෙන්ඩර් කිහිපයකට ළඟදීම අනුමැතිය ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙගාවොට් 400-500ක විදුලිබල සැපයුමක් ඉදිරි වර්ෂය තුළ රාත්‍රී කාලයේ අධික විදුලි ඉල්ලුමක් ඇති කාලයට සැපයීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ පසු පොසිල ඉන්ධන භාවිතයෙන් සිදුවන විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන් නතර කර පුනර්ජනනීය විදුලිබල සැපයුමක් ලබාදීමට අපට හැකියාව ලැබෙනවා.
මේ වන විට විද්‍යුත් වාහන භාවිතය වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. මෙම විද්‍යුත් වාහනවල බැටරි ආරෝපණය කිරීම සම්බන්ධයෙන් රජය අවධානයක් යොමු කර තිබෙනවා ද ?
ඔව්, මම ඉහතින් සඳහන් කළ ආකාරයට සූර්ය බලය හරහා දිවා කාලයේ නිෂ්පාදනය කරන අතිරිත්ත විදුලි බලය රාත්‍රී කාලයේ දී භාවිතා කිරීමට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ හරහා මෙම ගැටලුවට, අභියෝගයට තිරසර විසඳුමක් ලැබෙනවා. විශේෂයෙන් පොසිල ඉන්ධන දහනය කර නිෂ්පාදනය කරන විදුලිය වෙනුවට විද්‍යුත් වාහන බැටරි ආරෝපණයට පුනර්ජනනීය විදුලිය ලබා ගැනීමට හැකිවීම වැදගත් කාරණයක් ලෙස සැලකිය හැකියි.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කියන්නේ දීර්ඝ කාලයක් පුරා නාස්තිය, දූෂණය සහ අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් බරපතළ චෝදනා ලැබූ අමාත්‍යාංශයක්. විශේෂයෙන් විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව ආර්ථිකය ඝාතකයින් ලෙසයි සැලකුණේ. වත්මන් පාලනය යටතේ විදුලිබල අමාත්‍යාංශය දූෂණය සහ වංචාව ඇතුළු හානිකර පියවර මැඩපැවැත්වීමට ගත් පියවර වල ප්‍රගතිය කොහොමද ?
ඔව්, මීට පෙර මේ අමාත්‍යාංශය සම්බන්ධයෙන් බරපතළ චෝදනා තිබුණා. මේ අමාත්‍යාංශයට අයත් සමහර ආයතන අධීක්ෂණය කිරීමේ දී ඇති වුණ ඇතැම් ගැටලු හේතුවෙන් තමයි ඔබ කියන චෝදනාවලට අවශ්‍ය පදනම නිර්මාණය වුණේ. ඒ නිසා තමයි අපි ‘විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණය’ කියන සංකල්පය යටතේ විදුලිබල මණ්ඩලය ප්‍රධාන ආයතන හතරකට වෙන් කරලා, ඒවා රජයේ අයිතිය තිබෙන ආයතන බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගත්තේ. පෙබරවාරී මාසය අවසන් වන විට අදාළ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අවසන් කර මාර්තු මාසය වන විට අලුත් ආයතන ස්ථාපිත කරලා, අලුත් වැඩපිළිවෙළක්, සංකල්පයක් යටතේ විදුලිබල මණ්ඩලය පවත්වා ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගත්විට අපි එහි පරිපාලන හා කළමනාකරණ වෙනස්කම් කළා. ඒ අනුව එම ආයතනය මේ වන විට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක වෙනවා. අපි හිතනවා තෙල් සංස්ථාව මේ වන විට නියමිත මාර්ගයට පැමිණ තිබෙනවා කියලා.
මැදපෙරදිග කලාපයේ වර්ධනය වන ගැටුම්කාරී තත්ත්වය හමුවේ ලංකාවේ බලශක්ති සැපයුමට යම්කිසි බාධාවක් හෝ බලපෑමක් එල්ල විය හැකි බව බොහෝ දෙනෙක් අනුමාන කරනවා. යම් ආකාරයකින් මැදපෙරදිග යළි ගැටුමට ගියොත් ලංකාවේ බලශක්ති සැපයුම බිඳ නොවැටී පවත්වා ගැනීමට ආණ්ඩුවට සැලසුමක් තිබෙනවා ද ?
මැදපෙරදිග කලාපයේ ගැටුමක් ඇති වුණොත් එය අපට ඍජු බලපෑමක් වෙනවා. විශේෂයෙන් ඉන්ධන සැපයුමට සහ එහි මිල ගණන් ඉහළ යාමක් සිදුවිය හැකියි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වල සිදුවන වෙනස්කම්වලට සංවේදීව සහ ප්‍රතිචාරීව කටයුතු කිරීමට අපට සිදුවෙනවා. නමුත් දේශීය වශයෙන් අඛණ්ඩව ඉන්ධන සැපයීමට හැකියාව තිබෙන බවට අපට සහතික වෙන්න පුළුවන්. මේ වන විට අපි අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා. යම්කිසි ගැටලුවක් ඇති වන ඕනෑම අවස්ථාවක විකල්ප මාර්ග හරහා අපේ ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වා ගෙන යාමට අපට හැකියාව තිබෙනවා.
විදුලි බිල 33%කින් අඩු කරන බවට සහ ඉන්ධන මිල සැලකිය යුතු මිලකින් අඩු කරන බවට මාළිමාව මැතිවරණයට පෙර පැහැදිලි පොරොන්දුවක් දුන්නා. නමුත් මේ වන විට විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව යළි යෝජනා කර තිබෙනවා. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
ඉන්ධන මිල සම්බන්ධයෙන් ගත් විට අපේ ආණ්ඩුව බලයට පත් වන විට පැවති මිලට වඩා 12%කින් පමණ අපි මේ වන විට ඉන්ධන මිල අඩු කර තිබෙනවා. මේ මිල මීට වඩා අඩු කිරීමට නම් ඛනිජ තෙල් සංස්ථාව ලබා ගෙන තිබෙන ණය අවසන් විය යුතුයි. එය අවසන් වූ පසු සැලකිය යුතු මිලකින් ඉන්ධන මිල අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම විදුලි බිල 30%කින් අඩු කරන බවට අපි දුන්න පොරොන්දුවක් තිබෙනවා. ඒ වෙනුවෙන් අපට තිබෙන වාසිදායකම අවස්ථාව තමයි පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය කිරීම. ඒ හරහා තමයි මේ අඩු කිරීම කරන්න පුළුවන් වෙන්නේ. මම ඉහතින් ද සඳහන් කළ පරිදි මේ වන විට පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් අපි අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙනවා, ඒ වගේම තවත් ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් අනුමැතිය ලබාදීමට සලකා බලමින් සිටිනවා. මීට පෙර රුපියල් 24,25 වැනි ඉහළ මිල ගණන් නියම වෙලා තිබුණ සමහර සුළං බලාගාර ව්‍යාපෘති මේ වන විට රුපියල් 12ක් වැනි අවම මිලකට පැමිණ තිබෙනවා. අපි හිතනවා මේ ව්‍යාපෘති ඉදිරි වසර කිහිපය තුළ අවසන් වූ පසු, ඒවා බලශක්ති සැපයුමට එක් වූ පසු ඉතාම පැහැදිලිව අපේ විදුලි නිෂ්පාදන පිරිවැය අඩුවීමක් වෙයි කියලා. ඒකට හේතුව තමයි විදුලි බලය නිෂ්පාදනයට තමයි පිරිවැයෙන් 80%ක් වැය වෙන්නේ. නමුත් පුනර්ජනනීය විදුලිය හරහා සිදු වන නිෂ්පාදන පිරිවැය අඩු වීම හරහා අපට අපේක්ෂිත ප්‍රතිශතයෙන් විදුලි බිල අඩු කිරීමට හැකියාව තිබෙනවා. ඉදිරි වසර දෙක, තුන තුළ මේ අඩු වීම කළ හැකි බව අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි අමතක කළ යුතු නැහැ, අපි මේ වන විට 10%ක පමණ ප්‍රතිශතයකින් විදුලි බිල අඩු කරලා තිබෙනවා. අපට ඒක කරන්න පුළුවන්කම ලැබුණේ ඩොලරයේ අගය ස්ථාවර කර ගැනීම තුළින්. ඒ වගේම අපි බලයට පත්වෙලා තාම අවුරුද්දක් පමණ කාලයක් තමයි ගත වෙලා තිබෙන්නේ අපි විදුලිය මිලට ගන්නේ පසුගිය ආණ්ඩු අත්සන් කළ ගිවිසුම් හරහාමයි. මේ ගිවිසුම් අවසන් වූ පසු සහ අපේ නව ව්‍යාපෘති අවසන් වූ පසු අපි මැතිවරණයට පෙර ජනතාවට දුන්න පොරොන්දුව ඉටු කරනවා. ඒ ගැන සැකයක් තබා ගත යුතු නැහැ.
බලශක්ති අමාත්‍යාංශය ඉලක්ක කර ගෙන මේ වන විට බරපතළ චෝදනා ගණනාවක් එල්ල වෙලා තිබෙනවා. විශේෂයෙන් බාල ගල්අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් විපක්ෂය ආණ්ඩුවට දැඩිව චෝදනා කරනවා. මේ ගැන ඔබේ ස්ථාවරය පැහැදිලි කළ හැකි ද ?
මේ සම්බන්ධයෙන් අපේ විෂයභාර අමාත්‍යවරයා වගේම අදාළ වෙනත් පිරිස් අවශ්‍ය තරමට පැහැදිලි කිරීම් කරලා තිබෙනවා. අපි යළිත් අවධාරණය කරනවා ගල්අඟුරු ආනයනයේ දී කිසිම ආකාරයක දූෂණයක් හෝ වංචාවක් සිදුවෙලා නැහැ. අපි නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා නිසි නෛතික පියවර තුළ කටයුතු කරලා තිබෙනවා. නමුත් පසුගිය ආණ්ඩු ගල්අඟුරු ආනයනය කරන විට ඉතාම දූෂිත සහ අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර තිබෙනවා. ඒ නිසා යළි එවැනි යුගයකට යාමට කිසිම හැකියාවක් අපේ ආණ්ඩුව ලබා දෙන්නේ නැහැ.
රතුඉර පුවත්පතේ 2026 පෙබරවාරී 22 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.
සටහන – භාතිය බරුකන්ද














