අකුරේගොඩ ද්විත්ව ඝාතනය සැලසුම් කළේ පාතාලයේ ‘ටුටු’: මහජන ආරක්ෂක ඇමති ඝාතනයේ සුලමුල හෙළිකරයි

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනය මෙහෙයවා ඇත්තේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ටුටු’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උග්ගල්ල ආරච්චිගේ තරිදු මධුසංඛ විසින් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත්, මේ සඳහා පොලිස් කණ්ඩායම් 12ක් යොදවා ඇති බවත් අමාත්‍යවරයා අනාවරණය කළේය.

ඝාතනයට පැමිණි තුවක්කුකරුවන් භාවිතා කළ බවට සැකකරන  KI 77 38 ලියාපදිංචිය සහිත වාහනය බද්දේගම ප්‍රදේශයේදී පුළුස්සා විනාශ දමා තිබිය දී පසුව අත්අඩංගුවට ගත් බවත් පැවසූ අමාත්‍යවරයා වෙඩික්කරුවන්ට ගිනි අවි බෙදා හැරීම සඳහා භාවිතා කළ බවට සැක කරන KS 89 87 නම් අංකය සහිත මෝටර් රථය කොට්ටාවේදී අත්අඩංගුවට ගත් බවත් හෙළි කළේය. ප්‍රහාරයට පෙර තුවක්කුකරුවන් නවාතැන් ගැනීමට රැගෙන යාමට භාවිතා කළ KW 87 33 වර්ගයේ මෝටර් රථයක් ද හඳුනාගෙන ඇති අතර, එය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුවෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසුවේ.

මෙම තුන්වන වාහනයේ හිමිකරු ගාල්ල, ඇත්කඳුර, පරණ ජනපදයේ වන්නිආරච්චිගේ සිහින දිල්සර ලෙස හඳුනාගෙන ඇති බව කී අමාත්‍යවරයා තුවක්කුකරුවන්ට ගිනි අවි ප්‍රවාහනය කර සැපයූ සනෝජ් කෝකිල ලියනාරච්චි සහ ගිනි අවි ප්‍රවාහනය හා සැපයීමට සම්බන්ධ දෙවන සැකකරු ද අත්අඩංගුවට ගෙන ඇති බව පැවසුවේය.

තුන්වන සැකකරු වන හපුවරච්චිගේ දොන් දිලීනා ප්‍රමෝද අපුවාරච්චි හෙවත් ඩිලා, ඔවුන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා සහාය වීම සඳහා පළමු සැකකරුවන් දෙදෙනාට මෝටර් රථයක් කුලියට දී ඇති අතර මේ වන විට ඔහු ද අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේය.

රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් භාවිතා කර වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු රුග්ගවිල, මීවල, පන්සල පාරේ අංක 102/9 හි පදිංචි රොබට් සුරේෂ් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කී අමාත්‍යවරයා මේ දක්වා සොයාගැනීම්වලින් මෙම අපරාධය මෙහෙයවා ඇත්තේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ටූටු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන උග්ගල්ල ආරච්චිගේ තරිදු මධුසංඛ විසින් බව පරීක්ෂණ කණ්ඩායම් විසින් තහවුරු කර ගෙන ඇති බව පැවසුවේය.

අපරාධයට සම්බන්ධ සියලුම තුවක්කුකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් පුළුල් පරීක්ෂණ දිගටම කරගෙන යන බව පැවසූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා අකුරේගොඩ සිද්ධිය හුදකලා නොවන බව ද අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website