කිසිඳු සාධාරණ පරීක්ෂණයකින් තොරව තමන් වැඩ තහනමකට ලක් කිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතා අද (18) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.
කතානායකවරයා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සභානායක අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු 14 දෙනෙකු රිට් පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත.
පෙත්සම්කාර චමින්ද කුලරත්න මහතා සිය රිට් පෙත්සමින් කියා සිටින්නේ, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් කටයුතු කළ තමන්ව ඉකුත් ජනවාරි මස 23 වනදා සිට වැඩ තහනම් කිරීමට කටයුතු කෙරුණු බව ය.
2026 වසරේ පෙබරවාරි මස දෙවන දා තමන් වෙත චෝදනා පත්‍රයක් ලබා දීමට කටයුතු කෙරුණු බවත් එම චෝදනා පත්‍රයේ අන්තර්ගත චෝදනා සියල්ල තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් කුලරත්න මහතා සිය පෙත්සමේ සඳහන් කර ඇත. ඒ අනුව සිය වැඩ තහනම් කරමින් නිකුත් කර තිබෙන ලිපිය සහ චෝදනා පත්‍රය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද අදාළ නීති විරෝධී චෝදනා පත්‍රය පදනම් කරගෙන තමන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර චමින්ද කුලරත්න මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ රුක්ෂාන් සේනාධීර සමග ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙනී සිටියහ.















