දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය නිසා වසරකට පුද්ගලයින් 22,000ක් පමණ මිය යන බවත් වසරකට රුපියල් බිලියන 225 – 240 ත් අතර මුදලක් රටට අහිමිව යන බවත් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහූ පවසති.
මෙම තත්ත්වයෙන් මූලිකවම මිදීමට අවශ්‍ය කෙරෙන නෛතික ප්‍රතිපාදන ඇතුළත් කරමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද ඔවුහු පැවසූහ.
දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ යාපනය ශික්ෂණ රෝහල පිළිබඳ ආයතන සමාලෝචනයක් සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කරන ලදී. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පසුගිය 21 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
එහිදී අදහස් දක්වමින් දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු මෙසේ ද පැවසූහ.
ලොව රටවල් 104ක් තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීම තහනම් කර ඇති බවත් එම නීතිය මෙරටද ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය අවධාරණය කළේය. තනි තනි වශයෙන් දුම්වැටි අලෙවි කිරීමේදී දුම්වැටි ඇසුරුම්වල දක්වා ඇති අනතුරු ඇඟවීම් අදාළ පාරිභෝගිකයින්ට දෘශ්‍යමාන වීමක් සිදු නොවන බවද එම නිලධාරීහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූහ.
තව ද දුම්වැටි සඳහා බදු පැනවීම, දුම්වැටි මිල නියම කිරීමෙන් අනතුරුව සිදුකිරීමේ වැදගත්කමද දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ නිලධාරීහු අවධාරණය කළහ.














