පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මුලසුන හොබවන නිලධාරීන්ගේ 28 වන සමුළුව (CSPOC) ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වැනිදා නවදිල්ලියේ පාර්ලිමේන්තු මන්දිර සංකීර්ණයේ සම්විධාන් සදන් මධ්‍යම ශාලාවේදී ආරම්භ කරන ලදී .
මෙම සමාරම්භක අවස්ථාව සඳහා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) සභාපති ආචාර්ය ටියුලියා ඇක්සන් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) ගරු සභාපති ආචාර්ය ක්‍රිස්ටෝපර් කලීලා ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 42 ක කථානායකවරුන් සහ මුලසුන හොබවන නිලධාරීන් සහභාගී වූහ.
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මුලසුන හොබවන නිලධාරීන්ගේ සමුළුවේ ස්ථාවර කාරක සභාව විසින් සියලුම සම්භාවනීය ආරාධිතයින් පිළිගනු ලැබීය.
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කාංචන රුචිත හේරත් යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.
සමුළුව අතරතුර, කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා ව්‍යවස්ථාදායකයන් මුහුණ දෙන සමකාලීන අභියෝග පිළිබඳව ආමන්ත්‍රණය කරන ඉහළ මට්ටමේ සාකච්ඡාවන් සඳහා ක්‍රියාකාරීව සහභාගී විය. විශේෂයෙන්ම මෙහි දී කථානායකවරයා “සමාජ මාධ්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එහි බලපෑම” පිළිබඳ වැඩමුළු සැසියේදී ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර, ඩිජිටල් බලපෑම් කළමනාකරණය කිරීම, ආයතනික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සහ වගකිව යුතු මහජන කතිකාවත් සමඟ ප්‍රකාශනයේ නිදහස තුලනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු අත්දැකීම් වලින් උකහා ගත් අවබෝධයන් බෙදා ගත්තේය.
පොදු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ ශ්‍රී ලංකා-ඉන්දීය සබඳතාව නැවත තහවුරු කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා ඉන්දීය ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බර්ලා මහතා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූහ. මෙහිදී ආයතනික හුවමාරු, මිත්‍රත්ව කණ්ඩායම්, ව්‍යවස්ථාදායක සහයෝගීතාව, දෙරටේ පාර්ලිමේන්තු අතර අඛණ්ඩ සහයෝගීතාවය ඇතුළුව කෘතිම බුද්ධිය (AI). තත්‍ය කාලීන බහුභාෂා පරිවර්තනය, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සඳහා වූ පාර්ලිමේන්තු පර්යේෂණ හා පුහුණු ආයතන (PRIDE) වැනි ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් සහ බෝධ් ගයා වැනි සංස්කෘතික සබඳතා ඇතුළු නව තාක්ෂණයෙන් පාර්ලිමේන්තු කටයුතු නවීකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත.
සමුළුව පවතින අතරතුර කථානායකවරයා එක්සත් රාජධානියේ, මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල්, කැනඩාවේ මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ෆ්‍රැන්සිස් ස්කාපලෙජියා, ඕස්ට්‍රේලියාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක මිල්ටන් ඩික් යන පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල කථානායකවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වූහ.
ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පවත්වාගෙන යාම සඳහා කථානායකවරුන්ගේ සහ මුලසුන හොබවන නිලධාරීන්ගේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරමින් විශේෂ සැසිවාර කිහිපයකින්ම සමන්විතවූ මෙම සමුළුව (CSPOC) 16 දා අවසන් වූ අතර අවසානයේ පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මුලසුන හොබවන නිලධාරීන්ගේ සමුළුවේ සභාපතිත්වය විධිමත් ලෙස භාරදීම ද සිදු විය.













