දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූ මහනුවර, මාතලේ, නුවරඑළිය, කුරුණෑගල, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ සහ අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡාවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට මෙහිදී සෘජුව මැදිහත්වු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ ඉතා ඉක්මණින් මෙම නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම ජනාධිපතිවරයාගේ සහ රජයේ අපේක්ෂාව වන අතර ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් පරිදි වෙන් කර තිබෙන බවයි.
නැවත පදිංචි කිරීමේදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) වාර්තාව කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන අතර, පෙර නිවස පිහිටි ස්ථානයේම පදිංචි කළ හැකි ජනතාව නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය සිදු කරන අතරතුරම, වෙනත් ස්ථානයක පදිංචි කළයුතු පිරිස් හඳුනා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් එක් එක් දිස්ත්‍රික්කවල මේ වන විට තත්ත්වය විමසා බැලීම මෙහිදී සිදු කෙරිණි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල නැවත පදිංචි කිරීමේ කටයුතුවලදී ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) වාර්තා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රමාදයන් පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ අතර අදාළ ප්‍රදේශවල නිලධාරීන් ප්‍රමාණවත් නොවන්නේ නම් NBRO වාර්තා ලබා දීම අවසන් කළ දිස්ත්‍රික්කවල නිලධාරීන්ගේ සහාය ඒ සඳහා ලබා ගනිමින් එම කටයුතු මසක් තුළ අවසන් කිරීමටද මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
එමෙන්ම, එම කටයුතු සඳහා වාහන සහ පහසුකම් ලබා ගැනීමේ දී මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර NBRO වාර්තා ලබා දීමේදී අධි අවදානම් කලාප පිළිබඳ වැඩ අවධානයක් යොමු කරමින් ප්‍රමුඛතාව අනුව එම කටයුතු කඩිනමින් අවසන් කිරීමටද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
NBRO වාර්තා පිළිබඳව ජනතාවට මතුව ඇති ගැටලු ඔවුන් සමඟ සාකච්ඡා කර, නිසි අධ්‍යයනයකින් පසු එහි සුරක්ෂිතභාවය තහවුරු කරමින් අදාළ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් වතු ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරිමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර වතු සමාගම් සමග සාකච්ඡා කර ප්‍රමාණවත් ඉඩම් කොටසක් නිදහස් කර ගැනීමෙන් පසු එම නිවාස ඉදිකිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු විය.
ඉඩමක් සමඟ නිවසක් මිලදී ගැනීමට කැමති පිරිස්වලට ඉඩම මිලදී ගැනීමේදී මතුව ඇති ගැටලු පිළිබදවද අවධානය යොමු වූ අතර, ජයභූමි වැනි දිමනා පත්‍ර මගින් පවරා දී ඇති ඉඩම්වලට අදාළව මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව සාකච්ඡාවට ලක් විය.
මේ අතර දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වුවන් වෙනුවෙන් රජයෙන් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව, රුපියල් 50,000ක දීමනාව සහ රුපියල් 15,000ක සිසු දීමනාව එය අපේක්ෂා කරන සියලුදෙනා වෙත මේ වන විට සම්පුර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව අදාළ දිස්ත්‍රික් ලේකම්වරු මෙහිදී පෙන්වා දුන් අතර ඇතැම් දිස්ත්‍රික්කවලට අදාළව සංඛ්‍යා ලේඛනවල තිබෙන ගැටලු නිවැරදි කරමින් ඒ පිළිබඳ නිවැරදි දත්ත කඩිනමින් ඉදිරිපත් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
ගිරිඋල්ල නගරය යට වීමෙන් හානි සිදු වූ ව්‍යාපාරික ස්ථානවලට වන්දි ගෙවීමේදී මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කළේය. ප්‍රාදේශීය සභාව යටතේ වරිපනම් ගෙවන සියලු ව්‍යාපාරික ස්ථාන වෙතද රුපියල් ලක්ෂ 02ක වන්දි මුදල ලබා දීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසදා ගනිමින් එම වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.















