හදිසි නීතිය භාවිත කර මාධ්‍ය හෝ කිසිඳු පාර්ශවයක් මර්දනය කිරීමට රජය කිසි ලෙසකත් කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද ( 06 ) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා ය.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශ කිරීම පිළිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.
අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය, ” දිත්වා සුළි කුණාටුව හේතුවෙන් මේ රටට වූ හානිය, මේ රටේ ජනතාවට වූ හානිය සියලු දෙනා හොඳින් දන්න කාරණයක්. අපි බලාපොරොත්තු නොවූ අන්දමට අපේ රටේ යටිතල පහසුකම් වන පාරවල්, ඒ වගේම පාලම් වලට කොතරම් හානියක් වුණාද කියන එක පිළිබඳව නැවත නැවත අවධාරණය කළ යුතු නැහැ. පාසල් ගණනාවක් , නිවාස ගණනාවක්. අපිට තියෙනවා නැවත ගොඩනැගීමට සහ තිබෙන ස්ථාන වලින් ඉවත් කිරීමට. ඒ වගේම මෙතෙක් ඉතිහාසයේ නොවූ අපි දැකපු නැති තරමේ නායයෑම් සිදු වෙලා තියෙනවා. මේ වනවිටත් 1300 ක් පමණ නායයෑම් පිළිබඳ NBRO වාර්තා ලැබි තිබෙනවා.
ඉතින් ඒ තත්වයන් තුළ ගරු සභාපතිතුමියනි, අපට සිදු වී තියෙනවා මේ සඳහා ඉක්මන් මැදිහත් වීමක් කරමින්. ඒ මැදිහත්වීම සඳහා සම්පත් බලමුළු ගන්වන්නට. මානව සම්පත වගේම අවශ්‍ය වන ඒ ද්‍රව්‍යමය අවශ්‍යතාවයන්, මේ සියල්ලම අපිට ඉතාමත් ඉක්මනින් බලමුළු ගන්වමින් ක්‍රියාත්මක කරන්නට මෙන්ම යළි යථා තත්ත්වයට ගෙන ඒමට වගේම මේ සිදු වූ හානිය අවම කිරීමට ගතයුතු පියවර ගැනීම සඳහාත් අපිට විශාල වැඩ කොටසක් පැවරිලා තියෙනවා.
මෙම හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවය පැන නගින්නේ ඔන්න ඔය තත්ත්වය මත පමණයි. අපට අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට හැකි වීමත්, ඒ වගේම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමත් තමයි මෙයින් අපි බලාපොරොත්තු වන්නේ. මේ ප්‍රධාන කරුණු දෙක සඳහා තමයි අපි මේ නීතිය පාවිච්චි කරන්නේ. ඇති වී තිබෙන තත්වය තුළ කළ යුතු දේ කාර්යක්ෂමව සහ ඉතාමත්ම වේගයෙන්, ජනතාවගේ ජීවිත යථා තත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය මත තමයි අපි මේ නීතිය තව මාසයක් දීර්ඝ කරන්නට ගරු පාර්ලිමේන්තුවට මෙය ඉදිරිපත් කරලා තියෙන්නේ”
“පදනම් විරහිත තොරතුරු ප්‍රකාශ කිරීම පොදු විපක්ෂයේ පුරුද්දක් බවට පත්වී තිබෙනවා. විපක්ෂයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරුන් හරහා ද එවැනි ප්‍රකාශ සිදුවීම කණගාටුවට කාරණයක්. ත්‍රිකුණාමලයේ සිද්ධියට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා අදාළව අත්අඩංගුවට ගැනීම් හදිසි නීතිය යටතේ සිදුකළ බවට විපක්ෂය චෝදනා කරනවා. නමුත් එම සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය නීතිය යටතේයි. රජය කිසි ලෙසකත් හදිසි නීතිය අවභාවිතා කරමින් මාධ්‍ය හෝ කිසිදු මහජන විරෝධතාවයක් මර්දනය කිරීමට කටයුතු කරන්නේ නැහැ. රජය මැදිහත්වීමෙන් එවැනි මර්දනය වීම් සිදු කර ඇත්නම් එම සිදුවීම් නිශ්චිතව ගෙනහැර දක්වන ලෙස මම විපක්ෂයට අභියෝග කරනවා”.













