රට ආර්ථික වශයෙන් ලබන ජයග්‍රහණ ආර්ථිකයේ පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම අපේ අරමුණයි –

ලංකාවේ යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ රටේ ජනතාවගේ වැඩිම අවධානය සහ විශ්වාසය දිනාගන්නා වසර බවට මේ වසර පත් වෙනවා – ජනපති මහනුවරදී

රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම පවුල් වටා තිබෙන චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් කර, සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ මෙරට ආර්ථික වශයෙන් පතුළේම සිටින ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම වත්මන් රජයේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

එමෙන්ම, කවුරු කවදා කුමන තනතුරේ කොපමණ විරාජමානව වැජඹුනද ඒ සියලුදෙනා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ අනුව මෙරට යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ රටේ ජනතාවගේ වැඩිම අවධානය සහ විශ්වාසය දිනා ගන්නා වසර බවට මෙම වසර පත්වනු ඇති බව සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් පුර්ණ හා අර්ධ නිවාස හානි සිදු වූ පුද්ගලයන්ට සහ කර්මාන්තකරුවන්ට වන්දි ප්‍රදානය වෙනුවෙන් අද (06) පෙරවරුවේ මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනට එක් වෙමිනි.

කුණ්ඩසාලේ, මැදදුම්බර, පාතදුම්බර සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රතිලාභීන් 150 දෙනෙක් වෙනුවෙන් මෙම වන්දි ප්‍රදානය සිදු කෙරුණු අතර සංකේතාත්මකව ජනාධිපතිවරයා ඒ සඳහා එක් විය.

අයවැය චක්‍රලේඛ 08/2025 හි අනු අංක 12 අනුව පුර්ණ නිවාස හානි වූවන්ට නව නිවසක් ඉදිකර ගැනීම සඳහා ගෙවීමට නියමිත රුපියල් ලක්ෂ 50ක මුදලින් ප්‍රථම වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් චෙක්පත් ප්‍රදානය මෙහිදී සිදු කෙරිණි. තමන්ට හිමි ඉඩමක හෝ එම ඉඩමේම නිවස ඉදිකරන පුද්ගලයින් හෝ රජයේ ඉඩමක් ලබා දී එහි නිවස ඉදිකරන පුද්ගලයින් මෙම කාණ්ඩයට අයත් වේ.

එමෙන්ම අයවැය චක්‍රලේඛ 08/2025 හි අනු අංක 14 අනුව නිවාස අර්ධ හානි වූවන් සඳහා තක්සේරුව අනුව නිවස යථාවත් කර ගැනීම සඳහා වන්දි ප්‍රදානය සිදු කෙරිණි. මෙහිදී තක්සේරු කමිටුවේ තක්සේරුව අදාළ චක්‍රලේඛය අනුව රුපියල් ලක්ෂ 25ක උපරිමය දක්වා සිදුකළ හැකි නමුත් කඩිනම් සහන සැලසීමේ අරමුණින් ප්‍රතිලාභීන්ගේ කැමැත්ත අනුව තක්සේරුවකින් තොරව රුපියල් ලක්ෂ 05ක ප්‍රතිලාභ ලබා ගැනීමට කැමති ප්‍රතිලාභීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක අර්ධ හානි වන්දි මුදල් චෙක්පත්‍ ප්‍රදානය කිරීම සිදු කෙරිණි.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තම කර්මාන්ත ස්ථානය හෝ යන්ත්‍රෝපකරණ ආදිය හානි වූ පුද්ගලයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා වන්දි මුදලක් ලෙස රුපියල් ලක්ෂ 02 බැගින් ලබා දීමද මෙහිදී සිදු විය. කුඩා, මධ්‍යම හෝ මහා පරිමාණ ආදී භේදයකින් තොරව ලියාපදිංචි කර තිබෙන සෑම ව්‍යාපාරයකටම නැවත තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම මූල්‍ය ප්‍රදානය සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website