ගණේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන CID ය අලුත් තොරතුරු හෙළි කරයි

සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින නීතිඥ තාමරා කුමාරි අබේරත්න සම්බන්ධයෙන් අනාවරණය වූ ප්‍රධාන කරුණු කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තොරතුරු ඉදිරිපත් ක‌ළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ලබාගත් රැඳවුම් නියෝග යටතේ සැකකාරිය රඳවා තබා ගෙන ප්‍රශ්න කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පොලිස් භාරයට ගත් රුපියල් මිලියන 25ක් පමණ වටිනා හොන්ඩා වෙසෙල් වාහනයක් වෙනත් පුද්ගලයෙකුගේ නම යටතේ ලියාපදිංචි කර ඇති නමුත් එය ඇත්ත වශයෙන්ම නීතිඥවරියට අයත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.

විල්ෆ්‍රඩ් දිසානායකගේ නමින් වාහනය ලියාපදිංචි කර ඇතත්, ඔහු කළ ප්‍රකාශ මත පදනම්ව, සැකකාර නීතිඥවරිය ඇගේම මුදල් භාවිතා කරමින් වාහනය මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

සැකකාරිය වාහනය මිලදී ගැනීමට යොදාගත් මුදල් ලබා ගත් ආකාරය සොයා ගැනීම සඳහා පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බවත්, ඇයගේ බැංකු ගිණුම් හරහා සංසරණය වූ මූල්‍ය ගනුදෙනු සහ අරමුදල් පිළිබඳව ද විමර්ශන සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වැඩි දුරටත් පැවසීය.

මෙම සැකකාරිය ‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරුට ආධාර සහ අනුබල දුන් බව සැක කරන බව කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකාර නීතිඥවරිය කළු පැහැති ටයි පටි දෙකක්, නීතිඥවරුන්ගේ වාහනවල භාවිතා කරන ලාංඡනය සහිත ස්ටිකරයක්, දණ්ඩ නීති සංග්‍රහයක්, අපරාධ නඩු විධාන සංග්‍රහ පොතක් මෙන්ම නීතිඥයෙකුගේ හැඳුනුම්පත සකස් කිරීමට අවශ්‍ය ඡායාරූප ද ලබා දී ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබෙන බව ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website