අන්තර්ජාලය හරහා සිදුවන Online Sexual Blackmail වලින් ආරක්ෂා විය හැකි ආකාරය සම්බන්ධයෙන් මහජන දැනුවත් කිරීමට අදාළ ලිපියක් Sri Lanka Police facebook හි ප්‍රකාශයට පත්කර ඇත. පොදුජන දැනුවත් කිරීමට අදාළ කාලීනභාවය සලකා එම සම්පූර්ණ ලිපිය මෙහි පළ කිරීමට අප තීරණය කළෙමු. එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
අන්තර්ජාලය හරහා සිදුවන ලිංගික බ්ලැක්මේල් කිරීම්වලින් ආරක්ෂා වෙමු.
“වර්තමාන තාක්ෂණික සමාජය තුළ පුද්ගලික ඡායාරූප හෝ වීඩියෝ දර්ශන පෙන්වා තර්ජනය කරමින් මුදල් හෝ වෙනත් අනිසි වාසි ලබාගැනීමේ සිදුවීම් බරපතල සමාජ ගැටලුවක් වී තිබේ.
ඔබ යම් හෙයකින් මෙවැනි තර්ජනයකට ලක්ව ඇත්නම් ප්‍රථමයෙන්ම කළ යුත්තේ බිය නොවී බුද්ධිමත්ව කටයුතු කිරීමයි. තර්ජනය කරන්නාගේ ඉල්ලීම්වලට යටත් වී මුදල් ගෙවීමට හෝ ඔවුන් සමඟ වාද කිරීමට උත්සාහ නොකරන්න, මන්ද ඔබ මුදල් ගෙවූ පමණින් ඔවුන් එම දර්ශන මකා නොදමන අතර එය තව තවත් බිය වද්දා මුදල් ලබාගැනීමට ඔවුන්ට ලැබෙන අවස්ථාවක් කරගනු ඇත.
මෙහිදී සැලකිය යුතු වැදගත්ම කරුණ වන්නේ, තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය වුවද, කිසිම අවස්ථාවක තමන්ගේ නිරුවත් හෝ අතිශය පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන හුවමාරු කර නොගැනීමට වගබලා ගැනීමයි. සම්බන්ධතාවයක් පවතින කාලයේදී පවතින විශ්වාසය, එම සම්බන්ධතාවය බිඳී ගිය පසු පළිගැනීමක් ලෙස හෝ බ්ලැක්මේල් කිරීමක් ලෙස වෙනස් වීමට වැඩි ඉඩකඩක් පවතී. එම නිසා, එවැනි පෞද්ගලික දෑ තාක්ෂණික මෙවලම් හරහා හුවමාරු කර ගැනීමෙන් වැළකී සිටීම මෙවැනි උගුල්වලින් බේරීමට ඇති ආරක්ෂිතම පියවරයි.
යම් හෙයකින් ඔබ එවැනි තර්ජනයකට මුහුණ දෙන්නේ නම්, අදාළ පණිවිඩ, ඇමතුම් වාර්තා සහ සමාජ මාධ්‍ය ගිණුම්වල Screenshots සාක්ෂි වශයෙන් සුරැකිව තබා ගන්න.
ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය CCID හෝ ඕනෑම පොලිස් ස්ථානයක් හරහා මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකි අතර, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය SLCERT වැනි ආයතනවල සහාය ද ලබාගත හැකිය.
ලංකාවේ පවතින නීතිය යටතේ කෙනෙකුගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සහ අන්තර්ජාලය ඔස්සේ තර්ජනය කිරීම සිරදඬුවම් ලැබිය හැකි බරපතල අපරාධයකි. ඔබ වින්දිතයෙකු බවට පත්ව ඇත්නම්, රහස්‍යභාවය රැකෙන පරිදි නීතියේ සහාය ලබා ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන්න”.
















