ආර්ථික මධ්‍යස්ථාන පහක් ඒකාබද්ධ කර නව සමාගමක් පිහිටුවීම: ඇමැතිගේ සැලසුමට ව්‍යාපාරික ප්‍රජාවවේ දැඩි විරෝධය

ජනපති අනුර දුන් මැතිවරණ පොරොන්දුත් මතක් කරයි – ඇමතිට කට උත්තර නෑ

දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ, නාරාහෙන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන පහක් පරිපාලන ස්වභාවයෙන් ඉවත් කර වෙනම සමාගමක් වෙත පැවරීම සඳහා රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බව ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියන් විසින් වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට දැනුම් දුන්නේය.

ඒ ඊයේ (31) පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳසැල් හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

නව නමාගමක් ස්ථාපිත කර අධ්‍යක්ෂකවරුන් 7 දෙනෙකු පත් කර දැනට කළමනාකාර භාරයකින් පාලනය වන දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන පහක් මෙම සමාගම යටතට පත් කිරීම පිළිබඳව වෙළෙඳ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම සඳහා මෙම විශේෂ සාකච්ඡාව පැවැත් වුණේය.

මෙම සාකච්ඡාව සඳහා විෂය භාර නියෝජ්‍ය අමාත්‍යවරයා වන සුනිල් බියන්විල, රාජ්‍ය ආයතන නිලධාරීන්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සාමාජික සාමාජිකාවන් සහ ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ  නිලධාරීනන් පිරිසක් ද සහභාගී වූහ.

සාකච්ඡාව අතරතුර වසන්ත සමරසිංහ මහතා සහ වෙළෙඳුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති  විය. මෙම වෙළෙඳ ව්‍යාපාර වසර 35කට වඩා වැඩි කාලයක් විසින් වෙළෙන්දන් විසින් පවත්වාගෙන ආ ආයතනයක් බව ව්‍යාපාරිකයෝ අමාත්‍යවරයාට පෙන්වා දුන් අතර කිසිදු දැනුම්දීමක් නොමැතිව එක්වරම අමාත්‍යවරයාට අවශ්‍ය කණ්ඩායම් පත් කර තම වෙළෙඳ ව්‍යාපාර ස්ථාන පාලනය කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත් ඔවුන් අමාත්‍යවරයාට අවධාරණය කළහ.

මෙහි දී රජයේ ස්ථාවරය පැහැදිලි කළ අමාත්‍යවරයා පැවසුවේ ආර්ථික මධ්‍යස්තාන පහක් සඳහා නව සමාගමක් ස්ථාපිත කළේ ඉතා සාධාරණ වෙළෙඳපළක් ජනතාවට ලබා දීම සඳහා වන බවයි.

 

දඹුල්ල, නුවරඑළිය, තඹුත්තේගම, කැප්පෙටිපොළ, නාරාහෙන්පිට යන ආර්ථික මධ්‍යස්ථාන මෙම නව සමාගම යටතට පත් කර ඒවායේ ලැබෙන මාසික බදු මුදල් පරිපාලන කටයුතු සියල්ල ලබන මාසයේ සිට මෙම සමාගම වෙත ගෙවීම් කළ යුතු බව අමාත්‍යවරයා ව්‍යාපාරික ප්‍රජාවට පැවසුවේය.

“මෙම සමාගම ස්ථාපිත කිරීමෙන් ගොවීන්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ අයිතිය කිසිම ආකාරයකින් අහිමි වීමක් සිදුවෙන්නේ නැහැ” අමාත්‍යවරයා පැවසුවේය.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට දැඩි ලෙස විරුද්ධත්වය කළ ව්‍යාපාරිකයින් කිසිදු දැනුම්දීමකින් තොරව සහ කිසිදු සොයාබැලීමකින් තොරව නව ආයතනයක් පිහිටුවා තමන් පවත්වාගෙන ආ ව්‍යාපාර පවරාදීමට නොහැකි බවත් දැනට ඉතා ශක්තිමක් කළමනාකරණ භාරයක් තුළින් වසර 30කට අධික කාලයක් ආර්ථික මධ්‍යස්ථාන පවත්වා ගෙන ආ බවත් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය කිරීම සඳහා මින් පෙර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවසර ලබා ගෙන ඇති සමාගම සඳහා වෙළෙඳ සංගම් විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් සඳහන් කළ ව්‍යපාරික ප්‍රජාව මෙහිදී අමාත්‍යවරයාට චෝදනා කළේ එම කැබිනට් අනුමැතිය ලබාගෙන තිබූ සමාගමේ නාමය ද ඉතා සූක්ෂම ලෙස වෙනස් කර නව සමාගමක් පිහිටුවීමට අමාත්‍යවරයා විසින් කටයුතු කර ඇති බවයි.

“මේ සඳහා කිසිදු කැබිනට් අනුමැතියක් ලබා ගෙන නැහැ” ව්‍යාපාරික ප්‍රජාව පැවසුවේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසර 29ක කාලයක් තුළ රජයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන සියලු සංවර්ධන කටයුතු සිදුකරමින් මේ වන විටත් කළමනාකරණ භාරයේ රුපියල් කෝටි 25ක මුදලක් ඉතිරි කර ඇති බවත් ඔවුන් අමාත්‍යවරයාට පෙන්වා දුන් අතර ව්‍යාපාරික ප්‍රජාව ගොවි ජනතාවට පොළී රහිත ණය, බීජ ආදි එළවළු වගාව සඳහා වියදම් කරමින් මෙම ආර්ථික මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවත් එවැනි අවස්ථාවක කිසිදු ආකාරයෙන් නොදන්නා සමාගමකට තම අයිතිය ලබා දීමට සූදානම් නොමැති බවත් ව්‍යාපාරික ප්‍රජාව දැඩිව අවධාරණය කළේය.

ව්‍යාපාරික ප්‍රජාවේ දැඩි ප්‍රතිචාර හමුවේ අමාත්‍යවරයා ද ප්‍රති උත්තර ලබා දීමට සූදානම් වීමේදී ව්‍යාපාරිකයින් සහ අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

මෙහිදී ව්‍යාපාරිකයින් විසින් අමාත්‍යවරයාට පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දඹුල්ලට පැමිණ මැතිවරණ පොරොන්දුවක් ලෙස තිස් අවුරුදු බදු ගිවිසුමක් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දන් වෙත ලබා දෙන බව පැවසූ බවයි.

ඒ සඳහා කිසිදු පිළිතුරක් ලබා නොදීමට අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ කැබිනට් අනුමැතිය ලබා දී ඇති සමාගම සහ ව්‍යපාරික ප්‍රජාව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති වෙළෙඳ නාමය අතර පරස්පරතා පවතින්නේ කුමන හේතුවක් මතද යන්නයි. ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදීමට අමාත්‍යවරයා පියවර නොගත්තේය.

මූලාශ තොරතුරු – adaderana.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website