
පන්දු යැවීම, පන්දුවට පහර දීම මෙන්ම පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටි පාකිස්තානු ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ අද (07 දා) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා කඩුලු 6 ක පහසු ජයක් අත්කරගත්හ.
ජයග්‍රහණය සඳහා ලකුණු 129 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානු පිතිකරුවෝ 17 වැනි පන්දුවාරයේදී ඉලක්කය සපුරා ගන්නා ලද්දේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ පිරිනමමිනි. ඒ සමගම තරග 3 කින් සමන්විත විස්සයිි-20 තරගාවලිය 1-0 ක් ලෙසින් පෙරමුණ ගැනීමටද සංචාරක කණ්ඩායම සමත්වූවේය.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තානු නායක සල්මන් අඝා, කිසිදු පැකිළීමකින් තොරව පන්දු යැවීම තෝරා ගත්තේ වැසි සහිත තත්ත්වයක් ඇති වුවහොත් දෙවැනියට පන්දුවට පහර දීම වඩාත් පහසු වීමත්, ඩක්වර්ත්–ලුවිස් න්‍යායට අනුව ලකුණු හඹා යෑමට ඇති වාසියත් හේතුවෙනි.
ඒ අනුව ලකුණු හඹා යෑම සදහා පිටියට පිවිසි පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වූ සයිබසාදා ෆර්හාන් (51) සහ සයිම් ආයුබ් (24) පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 59 ක් එක් කළේ පන්දු 35 ක් පමණක් වැය කරමිනි. පන්දු 36 කට මුහුණ දුන් ෆර්හාන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 51 ක් ලබා පාකිස්තානු කණ්ඩායමට ජය මාතර පහසු කර දුන්නේය. මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග, ධනංජය ද සිල්වා සහ දුෂ්මන්ත චමීර කඩුල්ල බැගින් දවා ගත්තද සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රැඳවීමට නොහැකි වීමේ අවාසිය මත පාකිස්තානුවෝ පන්දු 20 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්හ.
තරගාවලිය ආරම්භයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා දීමට තමන් ඇතුළු කණ්ඩායම පුහුණුවීම් වලදී සැලසුම් කළ බව නායක දසුන් ශානක සඳහන් කර සිටියද ජනිත් ලියනගේ ලබා ගත් ලකුණු 40 හැරෙන්නට වෙනත් කිසිම පිතිකරුවකුට ලකුණු 20 සීමාව ඉක්මවා ලකුණු රැස් කිරීමට පාකිස්තානු පන්දු යවන්නෝ ඉඩ ප්රස්ථා ලබා නොදුන්හ.
වසර එකහමාරකට පසු පන්දුවාර විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළ ධනංජය ද සිල්වාට අද දිනයේදී ක්‍රීඩා කළ හැකි වූයේ පන්දු 10 කට පමණි. ගෙවී ගිය වසර එකහමාරකට ආසන්න කාලයේදී ඉදිරි පෙළ මෙන්ම මැද පෙළ පිතිකරුවන් අසාර්ථකවීමට පිළියමක් ලෙසින් ධනංජයව පිතිකරණ ලැයිස්තුවේ අංක 4 ස්ථානයට කැඳවූ නමුත්, කාලයකට පසු විස්සයි-20 තරගයකට ක්‍රීඩා කළ නිසාදෝ ඔහුට ලකුණු අතරට ඒමට නොහැකි විය. මුහුණ දුන් පන්දු 10 දී ධනංජය ලකුණු පුවරුවේ රැඳවීමට සමත්ව සිටියේ ලකුණු 10 ක් පමණි.
ආරම්භක පිතිකරු කමිල් මිශාර ලකුණු නොලබා දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ 13 ක් ලෙසිනි. ලකුණු පුවරුවට තවත් ලකුණු 02 ක් එකතුවන අතර වාරයේදීි පැතුම් නිස්සංකද ලකුණු 12 කට දැවී යෑම ශ්‍රී ලංකාවට දරාගත නොහැකි පාඩුවක් විය. ශ්‍රී ලංකාව ගොඩගත යුතු තත්ත්වයක පවතිද්දීත් කුසල් මෙන්ඩිස් (14) සහ ධනංජය ද සිල්වා (10) දවා ගත් ශදාබ් ඛාන් 7 වැනි පන්දුවාරය අවසන් වීමටත් මත්තෙන් තරගයේ වාසිය පාකිස්තානු පිලට හරවා දීමට සමත්වූවේය.
පාකිස්තානයට එරෙහි තරගාවලියේදී අසනීපයක් හේතුවෙන් හදිසියේ ශ්‍රී ලංකාව බලා පැමිණි චරිත් අසලංක ද ලකුණු 18 කදී දැවී යෑමෙන් පසු පිටියට පිවිසියේ වනිදු හසරංග විය. එක පිට කඩුලු දැවී යෑම නිසා නායක දසුන් ශානක තෝරා ගනු ලැබුවේ පිතිකර ලැයිස්තුවේ 08 වැනි ස්ථානයයි. එහෙත් ලකුණු 12 ක් රැස් කිරීම හැරුණු කොට වැඩි ලකුණු සංඛ්‍යාවක් කරා ශ්‍රී ලංකා පිල රැගෙන යෑම වෙනුවෙන් ඔහුට දැනෙන සේවයක් කළ නොහැකි විය. පාකිස්තානු පන්දු යැවීමේ බල පරාක්‍රමය හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 20 වන තෙක්වත් පන්දුවට පහර දීමට නොහැකි වූ අතර ඉනිම අවසන් වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා ඉනිම හමාර කිරීමට ප්‍රතිවාදී පන්දු යවන්නෝ සමත්වූහ.
පන්දු යැවීමේදී අබ්රාර් අහමඩ් සහ සල්මන් මිර්සා කඩුලු 3 බැගින් දවා ගත්තද තරගයේ වීරයා ලෙසින් සම්මානය දිනා ගන්නා ලදීදේ පන්දුවාර 4 දී ලකුණු 25 කට කඩුලු 2 ක් දවා ගත් ශදාබ් ඛාන්ය. පාකිස්තානු කණ්ඩායම අතින් සමස්ථ ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන්ම ලබා දී තිබුණේ අතිරේක ලකුණු 03 ක් පමණක් වූ අතර පාකිස්තානු කණ්ඩායම ක්‍රීඩා කරන ලද පන්දුවාර 16.4 දී පමණක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතින් අතිරේක ලකුණු 08 ක් ප්‍රධානය කර තිබීමද කැපී පෙනිණ.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගය මේ මස 09 වැනිදා රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකාව පන්දුවාර 19.2 කදී සියලු දෙනා දැවී ලකුණු 128 යි – (ජනිත් ලියනගේ 40, වනිඳු හසරංග 18, දසුන් ශානක 12, දුෂ්මන්ත චමීර 00, මහීෂ් තීක්ෂණ 01, නුවන් තුෂාර 00*, පැතුම් නිස්සංක 12, කමිල් මිශාර 00, කුසල් මේනඩිස් 14, ධනංජය ද සිල්වා 10, චරිත් අසලංක 18, සල්මන් මිර්රසා 18/3, අබ්රාර් අහමඩ් 25/3, ශදාබ් ඛාන් 25/2, මොහොමඩ් වසීම් 07/2)
පාකිස්තානය පන්දුවාර 16.4 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 129 යි – (සයිබසාදා ෆර්හාන් 51, සයිම් ආයුබ් 24, සල්මන් අඝා 16, ෆකාර් සමාන් 05, උස්මාන් ඛාන් 07*, ශදාබ් ඛාන් 18*, මහීෂ් තීක්ෂණ 31/1, දුෂ්මන්ත චමීර 34/1, වනිඳු හසරංග 17/1, ධනංජජය ද සිල්වා 04/1)
source: srilankacricket.lk








