වසර 25කට පසු ප්‍රථම වතාවට ජාතික පාරිසරික පනත සංශෝධනය කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා පවසයි. මෙම සංශෝධන සඳහා පසුගිය 29 වැනිදා රැස්වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර, ඒ අනුව ගැසට් කිරීමෙන් අනතුරුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පරිසර අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම පනත් සංශෝධනය සඳහා විවිධ ක්ෂේත්රවල විද්වතුන් විශාල පිරිසක් සම්බන්ධ වූ බවත් ඒ ඒ ක්ෂේත්රවලට මෙය බලපාන බැවින් ඔවුන් දැනුවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද සිදු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) ජාතික පාරිසරික පනත සංශෝධනය පිළිබඳව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවේදීය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කළ පරිසර අමාත්‍යවරයා, “ජාතික පාරිසරික පනත ක්‍රියාත්මක වන්නේ පරිසරය ආරක්ෂා කිරීමේ මූලික අරමුණ සහිතවයි. ඒ අනුව තාක්ෂණයේ සිදුවන දියුණුව, පරිසර දූෂණයේ පවතින තත්ත්වයන් සහ ජන ජීවිතයේ සිදුවී ඇති වෙනස්වීම් සලකා බලමින් පනතට අවශ්‍ය නව සංශෝධන එක් කළා. මීට පෙර පනතට ඇතුළත් නොවූ පරිසර දූෂණය පාලනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම එකතු විය යුතු ක්ෂේත්‍ර රැසක් මෙවර සංශෝධන මඟින් පනතට එක් කර තිබෙනවා. විශේෂයෙන්ම රසායනික දූෂණය පාලනය කිරීම හා උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීම පාලනය කිරීම සඳහා නව ප්‍රතිපාදන හඳුන්වා දී තිබෙනවා.
ඊට අමතරව භූගත ජල දූෂණය සහ ශබ්ද දූෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය නව ප්‍රතිපාදන රැසක් ද පනතට එක් කර ඇති අතර පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීමේ දී මෙතෙක් පවතින ක්‍රමවේදයන්ට අමතරව උපායමාර්ගික පාරිසරික ඇගයීම් ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන පරිදි ‘පරිසර දූෂණයට හේතු වන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන නිෂ්පාදකයා ඒ සඳහා වගකිව යුතුයි’ යන සංකල්පය ද මෙම පනතට ඇතුළත් කර තිබෙනවා. තෙත්බිම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කළමනාකරණ ප්‍රතිපාදන, පාරිසරික ආරක්ෂණ ප්‍රදේශ කළමනාකරණය පුළුල් කිරීමට අදාළ නව සංශෝධන, ජල දූෂණය වැළැක්වීම සඳහා ප්‍රතිපාදන සහ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පුළුල් බලතල ද මෙම සංශෝධන මඟින් පනතට එක් කර තිබෙනවා” යැයි පරිසර අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.












