දණ්ඩ නීති සංග්‍රහයේ 285 වගන්තිය: අසභ්‍ය අන්තර්ගත සම්බන්ධ වරද ගැන ඔබ මේ කරුණු දැන සිටියා ද ?

දණ්ඩ නීති සංග්‍රහයේ 285 වගන්තිය අනුව, අසභ්‍ය පොතක්, පත්‍රිකාවක්, පත්‍රයක්, ඡායාරූපයක්, නිරූපනයක් හෝ රූපයක් විකුණන, බෙදා හරින, පිටරටින් ගෙන්වන හෝ ඕනෑකමින්ම මහජන ප්‍රදර්ශනයට තබන හෝ එලෙස කිරීමට තැත් කරන තැනැත්තෙකුට තුන් මාසය දක්වා කාලයකට බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කිරීමට අධිකරණයට බලය ලබා දී ඇත.

මේ වගන්තිය අනුව, වැටකෙයියා පඳුරු අස්සේ වේවා, සැප පහසු කාමරයක වේවා කුමන හෝ තැනක දි සිදු කරන්න ලිංගික ක්‍රියාවන් රහසිගත ව වීඩියෝ කර සමාජගත කිරීම අපරාධමය වරදක් වෙනවා.

ඒවගේම, අපි හිතමු, යම් යුවලක් කැමැත්තෙන්ම ඔවුන්ගේ ලිංගික ක්‍රියාවන් වීඩියෝ කර ඒවා විවිධ වෙබ් අඩවිවල පළ කළෝත් එයත් මේ වගන්තිය යටතේ ම අපරාධමය වරදක්. දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තිය අනුව යම් පුද්ගලයෙක් විසින් විකිණීමේ අදහසකින් හෝ මහජනතාවට සමාජගත කිරීමේ අදහසින් අසභ්‍ය වීඩියෝවක් ළඟ තබා ගැනීම පවා අපරාධමය වරදක් සලකනවා. මේ නිසා, හොරෙන් ලිංගික ක්‍රියාවන් වීඩියෝ කරන්නවත්, එවැනි වීඩියෝ වට්ස් ඇප් මාර්ගයෙන් හෝ ෆේස්බුක් මාර්ගයෙන් හෝ වෙනත් කුමන හෝ මාර්ගයකින් සමාජගත කරන්නට හිතන්නවත් එපා. ඔබ fake ගිණුමකින් මේ වීඩියෝ සමාජගත කළත් ඔබව සොයා ගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසියට වැඩි කාලයක් ගත වන්නේ නැති බව මතක තබා ගන්න.

වෙනත් කවුරුන් හෝ සමාජ මාධ්‍යයට මුදා හැරපු මේ වගේ රහසිගතව ගත් ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝවක් ඔබ විසින් ෆේස්බුක්, වට්ස් ඇප් හරහා ඔබේ මිත්‍රයන්ට share කළහොත් එය නීතියෙන් වරදක් වෙනවා ද ? මෙයත් මගේ පන්තියේ ළමයා අහපු ඔබටත් වැදගත් ප්‍රශ්නයක්. නීතිය අනුව, වරදක් සිදු කිරීම වගේම ඒ වරදට අනුබල දීමත් වරදක් ලෙස සලකනවා. මෙවැනි වීඩියෝ සමාජගත කිරීම වරදක් නම්, වෙනත් පුද්ගලයෙක් විසින් සමාජගත කළ වීඩියෝවක් ඔබ නැවත නැවතත් ඔබේ මිතුරන් අතරේ share කරනවා නම් එයත් වරදක් ලෙස සැලකිය හැකි බව මතක තබා ගන්න. ඒනිසා, මෙවැනි වීඩියෝ සමාජ මාධ්‍ය හරහා share කර අනවශ්‍ය නීතිමය ප්‍රශ්නවලට පැටලෙන්න එපා.

කොහොම වුණත්, ළමයින් නැති සාමාන්‍ය ලිංගික දර්ශන ඇති වීඩියෝවක් ඔබේ පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා පමණක් ළඟ තබා ගැනීම නීතියෙන් වරදක් ලෙස සලකන්නේ නැත. ඒත්, මම ඔබට දෙන උපදෙස නම්, එහෙම වත් කිසිම ලිංගික දර්ශන ඇති වීඩියෝවක්, ඡායාරූප‍යක් ඔබ ළඟ තබා ගන්න එපා.

මේ සමඟම තව වැදගත් නීතියක් ගැන කිව යුතුයි. අවුරුදු 16ට අඩු ගැහැණු ළමයෙක් සමඟ ලිංගික ක්‍රියාවක නිරත වෙන්න හිතන්න වත් එපා. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන අනුව, අවුරුදු 16ට අඩු ගැහැණු ළමයෙක්ගේ කැමැත්තෙන් වුණත් ඒ ගැහැණු ළමයා සමඟ යම් ලිංගික ක්‍රියාවකට නිරත වීම ස්ත්‍රී දූෂණ වරදක් ලෙස සලකනවා. ඒ නිසා, අවුරුදු 16ට අඩු ගැහැණු ළමයෙක්ට ආදරය කළත් කිසිම වෙලාවක ලිංගික ක්‍රියාවක නිරත වෙන්න නම් එපා.

ඔබේ කුමන හෝ ගැටලුවක් සම්බන්ධයෙන් නොමිලේ ම නීති උපදෙස් ලබා ගැනීමට අවශ්‍යයි නම්, නීති ආධාර කොමිසමට හෝ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ මානව හිමිකම් කේන්ද්‍රයේ ඇති නීති ආධාර ඒකකය වෙත යොමු වෙන්න. අපි ලබන සතියේත් තවත් අලුත් ලිපියකින් හමුවෙමු.

ඍජු උපුටා ගැනීම – #SriLankaPolice #PoliceMedia  #මේ_ඔබේ_පොලිසියයි #lawpoint

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website