‘RE-MSME – ආපදා සහන’ ණය යෝජනා ක්‍රමයට කැබිනට් අනුමැතිය

ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ‘RE-MSME – ආපදා සහනණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ව්‍යවසායයන්ට මාස හයක සහන කාලයක් සහිතව වසර තුනකින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000ක් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01ක් දක්වා වාර්ෂිකව 3%ක පොලී අනුපාතයක් යටතේ ලංකා බැංකුව, මහජන බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකු මඟින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ති‌බේ.

අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව හෙළි කළේය.

2025-12-10 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලබා දී ඇති බවත් ආපදාවෙන් බලපෑමට ලක් වී ඇති මහා පරිමාණ ව්‍යවසායයන් ඇතුළු සියලුම ව්‍යවසායයන් වෙත ප්‍රතිලාභ ලබා දීමට හැකි වන පරිදි සහ පෞද්ගලික බැංකු ද දායක කර ගනිමින් එකී ණය යෝජනා ක්‍රමය වැඩිදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති බව ද කැබිනට් ප්‍රකාශකයරා වැඩිදුරටත් පැවසීය.

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ සියලු ව්‍යවසායයන්ට මාස 06ක සහන කාලයක් සහිතව වසර 03කින් ගෙවීම සඳහා ක්ෂුද්‍ර ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් 250,000ක්, සුළු පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 01ක් සහ මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායයන් සඳහා උපරිමය රුපියල් මිලියන 25ක් දක්වා වාර්ෂිකව 3%ක පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂිත බැංකු මඟින් කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ලබා ගැනීමට හැකිවන පරිදි ‘විස්තීරණ ආපදා සහන ණය යෝජනා ක්‍රමය’ නමින් ණය යෝජනා ක්‍රමයක් සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කෙරේ. එකී ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ඇමැතිවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website