උතුරු මැද පළාතේ යතුරුපැදි ආශ්‍රිත මාරක අනතුරු සංඛ්‍යාව වාර්තාගත ලෙස 47%කින් පහළ වැටේ
උතුරු මැද පළාත තුළ මාර්ග විනය ස්ථාපිත කිරීම සහ දිනෙන් දින ඉහළ යන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද විශේෂ රථවාහන මෙහෙයුම හේතුවෙන් යතුරුපැදි ආශ්‍රිත මාරක අනතුරු සංඛ්‍යාව ඉතා ඉහළ ප්‍රතිශතයකින් පහළ දැමීමට හැකි වී තිබේ.
උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී. ඒ. ධනපාල මහතාගේ සෘජු අධීක්ෂණය සහ උපදෙස් මත මෙම විශේෂ ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය. ප්‍රමිතියෙන් තොර සහ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කරන පිරිස් ඉලක්ක කර ගනිමින් 2025.12.09 වන දින මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කෙරිණි.
මෙම විශේෂ රථවාහන මෙහෙයුමේ ප්‍රගතිය විමර්ශනය කිරීමේදී ඉතා සාධනීය ප්‍රතිඵල අත්කරගෙන ඇත. විශේෂයෙන්ම පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ අදාළ කාල සීමාව තුළ සිදුවූ මාරක අනතුරු සංඛ්‍යාව සැසඳීමේදී මෙය මනාව තහවුරු වේ.
2024.12.09 වන දින සිට 2024.12.21 දක්වා වූ කාලය තුළ වාර්තා වූ අනතුරු සංඛ්‍යාවට සාපේක්ෂව, 2025.12.09 වන දින සිට 2025.12.21 දක්වා වූ කාලය තුළ යතුරුපැදි මාරක රිය අනතුරු සංඛ්‍යාව 47% කින් පමණ පහත වැටී ඇත.
යතුරුපැදි කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත්, මාර්ග නීති උල්ලංඝනය කරන්නන් නීතියේ රැහැනට හසු කර ගැනීමත් තුළින් අහිංසක ජීවිත රැසක් ආරක්ෂා කර ගැනීමට මෙම වැඩපිළිවෙළ හරහා හැකි වී තිබේ. මෙම ධනාත්මක ප්‍රවණතාවය හේතුවෙන් සහ රිය අනතුරු පාලනය කිරීමේ ප්‍රශස්ත මට්ටමක් පවත්වාගෙන යාමේ අරමුණින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් සී. ඒ. ධනපාල මහතාගේ උපදෙස් පරිදි මෙම විශේෂ මෙහෙයුම උතුරු මැද පළාත පුරා තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.












