දැනට පවතින වර්ෂාපතනය අනුව මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පහත් නිම්න ප්‍රදේශයේ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් අද (18) නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
වික්ටෝරියා, රංදෙිණිගල, රංටැඹේ යන ජලාශ මේ වනවිට වාන් දැමීම ආරම්භ වී ඇති අතර වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 06ක් සෙන්ටිමීටර 70 බැගින් ද රන්දෙණිගල ජලාශයේ වාන් දොරටු 02ක් මීටර් 2.5 සහ මීටරයක් බැගින් ද රන්ටැබේ ජලාශයේ වාන් දොරටු 02ක් මීටර 2 සහ මීටර 2.5 බැගින් අද (18) පෙරවරු 10 වනවිට විවෘත කර ඇත.
තව ද රංටැඹේ ජලාශයෙන් මිනිපේ අමුණ හරහා මහවැලි ගඟට මුදා හරින ජල ප්‍රවාහය පවතින වර්ෂාපතනය අනුව වැඩිවිය හැකි බවත් එම මහවැලි අධිකාරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එසේම ලොග්ගල්ඔය , දියබානාඔය, හෑපොලඔය හා උල්හිටිය ජලාශවල වාන් මගින් පිටවන ජලධාරිතාවය සහ බදුළු ඔයේ ජලය ද සෘජුවම මහවැලි ගඟට එකත් වන බැවින් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යන බව ද එම නිවේදනයේ සඳහන් වේ.
කලාවැව ද්‍රෝණියට අයත් කලාවැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති අතර බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශවල ද ජල මට්ටම උපරිම මට්ටමේ පවතී. එම පෝෂක ප්‍රදේශවලට ඇතිවන වර්ෂාපතනය සමග එම ජලාශයන් ද වාන් දැමිය හැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් දැනුම් දෙයි.
මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ ඇති බැවින් එම ජලාශයද ඉදිරියේ දී වාන් දැමීම සිදු විය හැකි අතර වාන් ජල ප්‍රවාහයන් වැඩි විය හැකි බැවින් ජලාශ වාන් දැමීම නැරඹීම හෝ විවධ කටයුතු සඳහා ජලාශ ප්‍රදේශවලට ළඟා වීමෙන් වළකින ලෙස එම අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.












