සෞඛ්‍ය සේවා පද්ධතියේ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සෑම දිස්ත්‍රික්කයකටම මන්ත්‍රීවරයෙක්

සෞඛ්‍ය සේවා පද්ධතියේ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 22කට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පත් කර ඇත.

සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අදාළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බවයි.

මධ්‍යම රජය සහ පළාත් රජයන් විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණ දුර්වලතා මඟහරවා ගනිමින් කාර්යක්ෂම රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර සේවා වැඩිදියුණු කිරීම මෙහි මූලික අරමුණ බව  සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් සඳහා යෝජිත භූමිකාවන් සහ වගකීම් අතර:

  • මහජන සහභාගීත්වයට ප්‍රමුඛත්වය ලබා දීමෙන් දිස්ත්‍රික් මට්ටමේ සෞඛ්‍ය අවශ්‍යතා හඳුනා ගැනීම සහ ප්‍රමුඛතාවය දීම,
  • ජාතික සහ පළාත් සෞඛ්‍ය සැලසුම් සමඟ එම අවශ්‍යතා ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීම,
  • රේඛීය අමාත්‍යාංශ සහ පළාත් සෞඛ්‍ය ආයතන අතර සම්පත් කාර්යක්ෂමව භාවිතා කිරීම සම්බන්ධීකරණය කිරීම,
  • ප්‍රමුඛතා ව්‍යාපෘති හඳුනාගෙන ඒවා අමාත්‍යාංශයට නිර්දේශ කිරීම,
  • නියමිත කාල රාමුව තුළ ඒවා සාර්ථකව නිම කිරීමට සහාය වීම සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම පත්කිරීම් සිදුකර ඇති අතර, රෝග නිවාරණ හා ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂමව ජනතාව වෙත සමීප කිරීම මෙහි අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website