මෝටර් වාහන සඳහා දැනට නිකුත් කරන අංකවලින් අංක 100,000 ක් ඉදිරියට විශේෂ අංකයක් මුදල් ගෙවා ලබාගැනීමට අදාළව අංක 2470/14 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ 2026 ජනවාරි 05 දින පළ කරන ලද (203 වන අධිකාරිය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවි තිබේ.
ඒ අනුව විශේෂ අංකයක් වෙන් කිරීමේදී එක් අංකයක් සඳහා රු. 1,000,000ක ගාස්තුවක් අය කිරීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට මේ අනුව අවසරය හිමි වේ.
මෙසේ විශේෂ අංක තහඩු නිකුත් කිරීම මගින් 2023, 2024 සහ 2025 වර්ෂවල රු. 319,000,000ක පමණ ආදායමක් උත්පාදනය කිරීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට හැකියාව ලැබි ඇත.
මෝටර් සයිකල්, මෝටර් ට්රයිසිකල් සහ මෝටර් ට්රයිසිකල් වෑන් රථ හැර වෙනත් සියලුම මෝටර් වාහන සඳහා මේ අනුව මුදල් ගෙවා විශේෂ අංක ලබා ගැනීමට අවසර හිමි වී තිබේ
.
එසේම මෙහිදී වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමේ ප්රමාදය සම්බන්ධයෙන් කාරක සභාවේ සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසූ අතර නිලධාරීන් පෙන්වා දුන්නේ අංක තහඩු නිකුත් කිරීම සඳහා මේ වන විට ආයතනයක් සමග ගිවිසුම් ගතවී ඇති බවත් මාස 3ක් ඇතුළත වාහන අංක තහඩු නිකුත් කිරීමට එම ආයතනය සැලසුම් කොට ඇති බවත්ය.












