මැයි 01 වැනිදා කම්කරු දිනය සැමරීමට සමගි ජන බලවේගය සමඟ එක්වන ලෙස සමගි ජන බලවේගය නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් සහ එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
Youtube ඔස්සේ විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය. එම පණිවුඩය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
මැයි මස පළමු වැනිදාට ජාත්‍යන්තර කම්කරු දිනය, වැඩකරන ජනතාවගේ දිනය අපි, සමගි ජන බලවේගය සමරනවා. විශේෂයෙන් මේ රටේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වගේම මේ රටේ සමස්ත ජනතාවට සෞභාග්‍ය උදා කිරීමේ ප්‍රධාන පියවර ඒ දින තැබීමට අපි බලාපොරොත්තු වෙනවා.
මෙපමණ කාලයක් ක්‍රියාත්මක වුණ මජර දේශපාලන සංස්කෘතියට තිත තබමින්, මේ ක්‍රියාත්මක වන දේශපාලන සූදුවෙන් ඉවත්වෙලා ප්‍රතිපත්තිගරුකව රට ගොනැගීමට, මැද මාවතක් ඔස්සේ, සමාජ ප්රජාතන්ත්රවාදයක් ඔස්සේ, සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ඔස්සේ ඉදිරියට යාමට අපි සූදානම්.
මේ ගමනට අපත් සමඟ අත්වැල් බැඳ ගන්න කියලා එක්සත් ජාතික පක්ෂයටත්, සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින්ටත්, ඒ වගේම රටේ දියුණුව උදෙසා කැපවී සිටින අපේ රටේ ප්රගතිශීලී ජනතාවටත් අප සමඟ එකතු වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා. එන්න අපත් සමඟ අත්වැල් බැඳ ගන්න, මැයි 01 වැනිදාට පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයට.
ලක්ෂ ගණනින්, දශ ලක්ෂ ගණනින් එකට එකතු වී ජනතා අයිතිය සුරක්ෂිත කිරීමට අපි පෙළ ගැසෙමු.














