විදේශගතව සිටින ලක්ෂ 15කට අධික ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ ප්‍රායෝගික ක්‍රමවේද සකස් කිරීම වෙනුවෙන් පත්කළ විශේෂ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත නිල වශයෙන් භාර දුන්නේය.
මෙම වාර්තාව භාරගනිමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙරට ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් සපයන විදේශගත ශ්‍රී ලාංකිකයන්ට රටේ පාලනය තීරණය කිරීමට අවස්ථාව ලබා නොදීම අසාධාරණ බවයි.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.
“මෙය ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක්. විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 16ක පමණ අදහස් මෙයට ඇතුළත්. මෙම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට රජය සූදානම්.”
මෙම වාර්තාව සකස් කිරීමේදී විදේශගත ශ්‍රමිකයන්, ශිෂ්‍යයන්, ද්විත්ව පුරවැසියන් සහ වෙනත් අවශ්‍යතා සඳහා විදේශගත වූවන් ලෙස පුද්ගලයන් කාණ්ඩ හතරකට හඳුනාගෙන තිබෙන බව කී කමිටු සභාපති අතිරේක මැතිවරණ කොමසාරිස් නීතිඥ එල්. ඒ. පී. කේ. කුලරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේ, මෙම ක්‍රියාවලිය ප්‍රධාන අංශ 04ක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති බවයි.
- ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම: විදේශගත ශ්‍රමිකයන්, සිසුන් සහ ද්විත්ව පුරවැසියන් විධිමත් ලෙස ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද.
- මැතිවරණ ප්‍රචාරණය: විදේශයන්හි සිටින ඡන්දදායකයන් සඳහා ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සහ මැතිවරණ වියදම් නියාමන පනතේ බලපෑම.
- ඡන්දය ප්‍රකාශ කිරීම: තානාපති කාර්යාල හරහා, තැපැල් මගින් හෝ ආරක්ෂිත මාර්ගගත (Online) ක්‍රමවේද භාවිතයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ ඇති හැකියාව.
- ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම.
වසර ගණනාවක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වූ මෙම ඓතිහාසික පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව 2025 දෙසැම්බර් මාසයේදී මෙම කමිටුව පත් කරන ලදී. අපේක්ෂිත කාලයට පෙර, මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ සියලු පාර්ශ්වයන්ගේ අදහස් විමසා මෙම වාර්තාව සකස් කිරීම විශේෂත්වයකි.
විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසකට ඡන්ද අයිතිය ලබාදීම සඳහා මෙවැනි විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය වන අතර 90 දශකයේ සිට මේ පිළිබඳව සංවාද පැවතුණ ද ඒ සඳහා ක්‍රමවත් වාර්තාවක් ඉදිරිපත් වූයේ මෙවර ය. මෙම වාර්තාව සකස් කිරීම සඳහා දේශපාලන පක්ෂ, ස්වාධීන සංවිධාන, විදේශගත පුද්ගලයන් සහ සංවිධානවලින් කරුණු සහ අදහස් ලබා ගෙන ඇත.
විදේශගත පුද්ගලයන්ට අමතරව, මෙරට අත්‍යවශ්‍ය සේවාවල නිරත වෛද්‍යවරුන්, රේගු නිලධාරීන් ආදී නිලධාරීන් මෙන් ම ධීවරයන්, සිරකරුවන් සහ රෝගාතුරව සිටින පුද්ගලයන් සඳහා ද පූර්ව ඡන්දය (Advanced voting) හෝ ජංගම ඡන්ද (Mobile voting) ක්‍රම හඳුන්වා දීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව මෙහිදී සාකච්ඡාවට ලක් විය.
මෙම වාර්තාවේ නිර්දේශ ඉදිරියේදී මහජන සංවාදයට විවෘත කිරීමට නියමිත අතර, එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය වඩාත් ශක්තිමත් කරනු ඇතැයි අමාත්‍යාංශය අපේක්ෂා කරයි.













