
එස්. රනුක්ගේ, විශ්‍රාමික රාජ්‍ය පරිපාලන නිලධාරී
විශ්‍රාමික රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වන එස්. රනුක්ගේ මහතා රාජ්‍ය වැටුප් කොමිෂන් සභා දෙකක කටයුතු කළ කීර්තිමත් නිලධාරියෙකි. මැයි දිනය වෙනුවෙන් ‘රතුඉර’ ඔහු සමඟ කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
- වර්තමානයේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලය දරන්නේ අවුරුදු 60ක් පුරා කම්කරුවන් වෙනුවෙන් අරගල කළ, කම්කරු ව්‍යාපාරයට, වෘත්තීය සමිති වලට නායකත්වය දුන් දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ. ජවිපෙ නායකත්වය දෙන ආණ්ඩුවක් තුළ කම්කරු ව්‍යාපාරයේ, වෘත්තීය සමිති ව්‍යාපාරයේ යම් පිබිදීමක් ඔබ දකිනවා ද ?
නැහැ. ඒකට හේතුව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වත්මන් ආණ්ඩුවට සමීපව කටයුතු කිරීමට සිදුවී තිබෙනවා. එයින් පිට කටයුතු කිරීමට හැකියාවක් ආණ්ඩුවට නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියට ගෙන යන්නේ එක්සත් ජනපද ආර්ථික න්‍යාය පත්‍රයයි. මේ න්‍යාය පත්‍රය අනුව තමයි ඔවුන්ගෙන් ණය ලබාගත් ලංකාව වැනි රටවල් වලට කටයුතු කරන්න වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑම අවස්ථාවක දීම රජයට උපදෙස් දෙන්නේ පෞද්ගලික අංශය ශක්තිමත් වන ආකාරයට කම්කරු නීති ඉවත් කිරීමට සහ සංශෝධනය කිරීමට යි. මේ ආකාරයේ පසුබිමක් තුළ ශක්තිමත් කම්කරු ව්‍යාපාරයක් බිහිවෙන්නේ නැහැ.
- බොහෝ දෙනෙක් ඔබ හඳුන්වන්නේ වැටුප් කොමිෂන් සභා සාමාජිකයෙක් ලෙසයි. මම හිතන ආකාරයට ඒක තමයි ඔබේ අනන්‍යතාව. ඒ නිසා වැටුප්, වැටුප් විෂමතා, වැටුප් ඉහළ නැංවීම ගැන ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා. කම්කරු ව්‍යාපාරය, මැයි දිනය සහ වැටුප් අතර සම්බන්ධයක් තිබෙනවා ද ?. කම්කරු අරගලය සමඟ වැටුප කේන්ද්‍රීය සාධකයක් වන්නේ ඇයි ?
වැටුප් කොමිෂන් අදාළ වෙන්නේ, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය අංශයට පමණයි. අර්ධ රාජ්‍ය අංශයට පවා වැටුප් කොමිෂන් අදාළ වෙන්නේ නෑ, ඒ වගේම වැටුප් කොමිෂමට පෞද්ගලික අංශය අදාළ වෙන්නෙත් නැහැ. පෞද්ගලික අංශයේ වැටුප් තීරණය කරන්නේ කම්කරු අමාත්‍යාංශය සහ හාම්පුතුන් අතර ඇති වන සාකච්ඡාමය එකඟත්වයක් තුළින්. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයින් තුළ ‘තමන්ගේ ශ්‍රමයට සරිලන වැටුපත් ලැබෙන්නේ නැහැ’ කියලා මතයක් තිබෙනවා. ව්‍යාපාරිකයෝ දැවැන්ත ලාබයක් ලැබුවත් ඒ දැවැන්ත ලාභයෙන් කොටසක් කම්කරුවන්ට යන්නේ නැහැ. ඒ ලාභය 100%ක් හිමිවෙන්නේ ව්‍යාපාරිකයාට පමණයි. ඒ වගේම කම්කරුවන්ගේ හඬට බොහෝ දේශපාලන පක්ෂ කන්දෙන්නේ නැහැ. තමන්ගේ දේශපාලන පක්ෂයට අයත් නොවන වෘත්තීය සමිති මර්දනයක් තමයි එවැනි ආණ්ඩු කරන්නේ. මේ තත්ත්වයට ප්‍රතිචාරයක් ලෙස කම්කරු පංතිය දේශපාලනීකරණය වෙනවා. එවැනි පසුබිමක් තුළ බලයේ සිටින ආණ්ඩුව පක්ෂපාතී වෘත්තීය සමිති වලට ආණ්ඩුව සාධාරණීකරණය කිරීමට සිදුවෙනවා. බාල තම්පෝ වැනි කම්කරු නායකයින් කිහිප දෙනෙකුට පමණයි ස්වාධීනව වෘත්තීය සමිති ව්‍යාපාරයට ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ.
- රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වැටුප තීරණය කිරීමේ දී සලකා බලන ප්‍රධාන නිර්ණායකය කුමක් ද ?
පෞද්ගලික අංශයේ වැටුප් තීරණය කරන්නේ කම්කරු දෙපාර්තමේන්තුව, හාම්පුතුන් සහ කම්කරු සංවිධාන (වෘත්තීය සමිති) අතර ඇතිවන සාකච්ඡාමය එකඟත්වයක් තුළින් තමයි වැටුප් සම්බන්ධ යම්කිසි තීරණයක් ගන්නේ. රජය මැදිහත්කරුවෙක් ලෙස පැමිණ මේ එකඟත්වය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. රාජ්‍ය අංශය තුළ තත්ත්වය ඊට වෙනස්. රාජ්‍ය අංශය තුළ හාම්පුතා වෙන්නෙත් රජයමයි. තෙවැනි පාර්ශ්වයක් නැහැ. රජය නිතරම බලන්නේ අනෙක් රාජ්‍ය විදයම් සමඟ තුලනය වන ආකාරයට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම ගැනයි. වත්මන් රජය අවස්ථා තුනක දී රාජ්‍ය සේවක වැටුප වැඩි කරන්නේ මේ පසුබිම තුළයි. රාජ්‍ය සේවකයින්ට ආණ්ඩුවට බලපෑම් කළ හැකි ප්‍රමාණය මත වැටුප් වැඩි කිරීම තීරණය වෙනවා.
- වැටුප් ගැන කතා කරන විට ‘වැටුප් විෂමතා’ ගැනත් කතා නොකරම බැහැ. රාජ්‍ය සේවය තුළ මෙය බරපතළ ගැටලුවක්. රාජ්‍ය සේවය තුළ මෙතරම් සංකීර්ණ සහ විශාල වැටුප් විෂමතා ඇති වෙන්නේ කොහොමද ?
වර්තමාන වැටුප් විෂමතා වලට පදනම වැටුණේ 2004 දී හෝ ඊට ආසන්න කාලයක දී පත් කළ වැටුප් කොමිෂම විසින් 2006 දී ප්‍රකාශයට පත් කළ වැටුප් වාර්තාවෙන්. ඒ අනුව 06 / 2006 කියලා වැටුප් චක්‍රලේඛයක් නිකුත් කළා. මේ චක්‍රලේඛය හරහා වැටුප් විෂමතා බොහොමයක් ඉවත් කිරීමට කටයුතු කරලා තිබුණා. අධිකරණ සේවය, රාජ්‍ය සේවය, ආරක්ෂක සේවය තුළ විශාල වැටුප් විෂමතා තිබුණේ නැහැ. නමුත් මේ තත්ත්වය තුළ යම් පිරිසකට විශාල අසාධාරණයක් වුණා. වැටුප් අනුපාතය අතර විශාල වෙනසක් තිබුණා. උදාහරණයක් ලෙස අධිකරණ සේවය තුළ කලින් 1:20; 1:18 වාගේ විශාල අනුපාතයක තිබුණේ. නමුත් රාජ්‍ය අංශයේ කම්කරු වෘත්තීය සමිති වල බලපෑම නිසා ඒ අනුපාතය 1:8 දක්වා පහළ වැටුණා. ඒ අනුව ඉහළ මට්ටමේ වැටුප් හැකිළුණා. මේ සම්බන්ධයෙන් බරපතළ අප්‍රසාදයක් අදාළ ඉහළ වැටුප්ලාභීන් අතර වර්ධනය වුණා. මේ තත්ත්වය තුළ පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දී, ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරලා ඔවුන්ට විශාල වැටුප් වැඩිවීමක් ලබා ගත්තා. ඒක වරදක් කියලා මම හිතන්නේ නැහැ. නමුත් මේ වැටුප් වැඩි කිරීමට සමගාමීව රාජ්‍ය අංශයේ සෙසු අංශවල වැටුප් වැඩි කිරීමක් සිදු වුණේ නැහැ. එවැනි අවස්ථාවක් ලැබුණේ නීතිපති දෙපාර්තමේන්තුවට පමණයි. ඔවුන්ට අධිකරණ සේවයට සමගාමී වැටුප් වැඩි වීමක් ලැබුණා. නමුත් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවට මේ වැටුප් වැඩි වීම ලැබුණේ නැහැ. මෙහි දී වැදගත් කරුණක් සිහිපත් කළ යුතුයි. ඒක තමයි මේ වැටුප් වැඩි වීම තුළ විශාල වශයෙන් තිබුණේ දීමනා. පුදුමාකාර දීමනා ප්‍රමාණයක් තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන දීමනා වලට සමාන දීමනා විශාල ප්‍රමාණයක් ඔවුන්ට ලැබුණා. නමුත් මේවා කිසිම පදනමක් ඇති දීමනා නොවෙයි. ඒ වගේම වැටුප් කොමිෂමේ නිර්දේශ යටතේ ලබා දුන් දීමනාත් නොවෙයි, ඔවුන් සහ පාලකයින් අතර තිබෙන සම්බන්ධතාව අනුව අනුමත කර ගත් දීමනා. ඒ නිසා රුපියල් 70,000ක් ලබා ගත් අයෙකුගේ වැටුප රුපියල් 700,000ක් දක්වා වැඩි වුණා. මේක රාජ්‍ය සේවයේ සම්ප්‍රදායට සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයක්. මේ නිසා තමයි අද රාජ්‍ය සේවය තුළ නොවිසඳුණු, විසඳා ගැනීමට නොහැකි, සංකීර්ණ වැටුප් විෂමතාවක් තිබෙන්නේ.
- ඒකට හේතුව කුමක් ද ?
ගත්ත අය අඩු කරන්න කැමති නැහැ, ඉල්ලන අයට දෙන්න තරම් ආණ්ඩුවට සල්ලි නැහැ.
- මෙවැනි තත්ත්වයක් තුළ ඔබේ නිර්දේශය කුමක් ද ?
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ දී කල්පනාකාරීව, වැටුප් කොමිෂමක් පත්කරලා, ඒ කොමිෂමේ නිර්දේශ වැටුප් වැඩි කළ යුතුයි. රජයට ලබා දෙන්න පුළුවන් වැටුපක් ලබා දිය යුතුයි. සෙවිල්ලක් – බැලිල්ලක් නැතිව වැටුප් හෝ දීමනා වැඩි නොකළ යුතුයි. ඒ වගේම පෞද්ගිල වුවමනා එපාකම් වලට අවස්ථාව ලබා නොදිය යුතුයි. ඇතැම් අවස්ථාවල පෞද්ගලික වුවමනා එපාකම් මත වැටුප් සහ දීමනා වැඩි කිරීමට එකඟ වුණ අවස්ථා තිබෙනවා. එවැනි තත්ත්වයක් නිසා තමයි අද රාජ්‍ය සේවය තුළ මේ තරම් විශාල සහ සංකීර්ණ වැටුප් විෂමතාවක් තිබෙන්නේ.
- රාජ්‍ය සේවය තුළ සුපිරි වැටුප් හා දීමනා හිමි ආයතන කිහිපයක් තිබෙනවා නේද ?
ඔව්, අධිකරණ සේවය, නීතිපති දෙපාර්තමේන්තුව, මහ බැංකුවට සුපිරි වැටුප් සහ දීමනා තිබෙනවා.
- මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීම බරපතළ විවේචනයට ලක් වුණා නේද ?
ඔව්, අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මහ බැංකුවේ විධායක නිලධාරියෙකුගෙයි, විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුගෙයි, පරිපාලන නිලධාරියෙකුගෙයි වැටුප් වර්ධක කිහිපයක පරතරයක් තමයි තිබුණේ. මහ බැංකුවේ ටිකක් වැඩියි. විශ්වවිද්‍යාලේ සිට මහ බැංකුව පත්වීම් ගත්ත අය, පරිපාලන සේවයට ආපු අය ආපසු විශ්වවිද්‍යාල සේවයට ගිය අවස්ථා ඒ කාලේ තිබුණා. නමුත් අද තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. මහ බැංකුව ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල පවතින වැටුපට සමාන වැටුපක් දක්වා තමන්ගේ වැටුප වර්ධනය කර ගෙන තිබෙනවා. ඒක ප්‍රශ්නයක්. මහ බැංකුව වැඩ කරන්නේ ලංකාව තුළ, ඔවුන් ගනුදෙනු කරන්නේ, බඩු ගන්නේ, ජීවත් වෙන්නේ. ලංකාවේ. මේ නිසා තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෛද්‍යවරු ලංකාව දාලා යන්නේ. වෛද්‍යවරුන්ට ලැබෙන වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.
- ඔබ හිතන ආකාරයට මේ බරපතළ සහ අසාධාරණ වැටුප් විෂමතාව ඇති කළේ කවු ද ?
මේ ආකාරයේ බරපතළ වැටුප් විෂමතාවක් ඇති වුණේ ආණ්ඩු වලට ප්‍රතිපත්තියක් නැති නිසා.
- රාජ්‍ය සේවයේ ඇතැම් තනතුරු වල පවතින අඩු වැටුප සහ අවශ්‍ය ඉහළ සුදුසුකම් සහ පළපුරුද්ද නිසා බොහෝ තනතුරු පුරප්පාඩුව පවතින බවට මැසිවිල්ලක් තිබෙනවා නේද ?
තනතුරු වලට සුදුසුකම් සහ පළපුරුද්ද ඉල්ලීම සාධාරණයි. සුදුසුකම් සහ පළපුරුද්ද නැතිව අදාළ තනතුරු වලට සේවකයින් බඳවා ගැනීම ප්‍රශ්නකාරී වෙනවා. අනෙක් කාරණය, රාජ්‍ය අංශයේ සියලුම තනතුරු වලට විශාල ඉල්ලුමක් තිබෙන බව හැමදාම දැකගන්න පුළුවන් වුණා.
- ඔබ දීර්ඝ කාලයක් සහ අවස්ථා ගණනාවක් වැටුප් කොමිෂන් වල සේවය කර තිබෙනවා. ඔබ හිතන ආකාරයට ලංකාවේ රාජ්‍ය සේවය තුළ තිබෙන වැටුප් විෂමතා විසඳා ගැනීමට හැකියාවක් තිබෙනවා ද ?, එසේ තිබෙනවා නම් ඒ කෙසේ ද ?, ඔබේ නිර්දේශ මොනවා ද ?
රාජ්‍ය සේවකයින්ට යම්කිසි ආකාරයක වැටුප් හෝ දීමනා වැඩි වීමක් ලබා දුන්නොත් සියලුම වැටුප් තලවල ඉන්න නිලධාරීන්ට අදාළ වැටුප් වැඩි කිරීම හෝ දීමනාව ලබා දෙනවා. නමුත් ඒ හරහා යළිත් වැටුප් විෂමතාව ඉහළ යනවා. ඒ නිසා මෙවැනි සංකීර්ණ හා සංවේදී තත්ත්වයන් අධ්‍යයනය කිරීමට පූර්ණ බලැති වැටුප් කොමිෂමක් පත් කළ යුතුයි (උදාහරණය ඉන්දියාව). මේ කොමිෂමට අපක්ෂපාතී, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙක් පත් කළ යුතුයි. නිශ්චිත කාලයක් තුළ අදාළ වාර්තාව ලබා දෙන ලෙස ද නියම කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුවට, දේශපාලන පක්ෂවලට මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබිය යුතුයි. ඒකට හේතුව තමයි ලංකාවේ වැටුප් කොමිෂන් සභා වාර්තා බොහෝ විට ක්‍රියාත්මක කරන්නේ නැහැ. උදාහරණයක් ලෙස 1986-87 කාලයේ දී ප්‍රකාශයට පත් කළ ෂෙල්ටන් රණසිංහ වාර්තාව ගන්න පුළුවන්. (ARC Report) මේ වාර්තාවේ නිර්දේශ එවකට පැවැති ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළේ නැහැ. ඒ ගැන නොතකා 300%කින් පමණ වැටුප් වැඩි කළා. ඒ හරහා වැටුප් විෂමතා තවත් වැඩි වුණා. ඒ නිසා වැටුප් වැඩි කිරීම පිළිබඳ පිළිගත හැකි, විනිවිධභාවය සහිත, වගකීම තිබෙන, පූර්ණ බලැති ජාතික වැටුප් කොමිෂමක් පත් කළ යුතුයි. (වර්තමානයේ ක්‍රියාත්මක කොමිෂම ගැන නොවේ). එය ඉතාම පැහැදිලිව විශේෂඥ දැනුම සහිත කොමසාරිස්වරුන්ගෙන් සමන්විත විය යුතුයි. ඒ වගේම අදාළ වාර්තාව රජයට ක්‍රියාත්මක කළ හැකි වාර්තාවක් විය යුතුයි. එවැනි වාර්තාවකින් පමණයි මේ වැටුප් විෂමතා සම්බන්ධ ගැටලුව විසඳා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ.
- වැටුප් කොමිෂන් සභාවලට පත්වන ඇතැම් නිලධාරීන් තමන් නියෝජනය කරන ක්ෂේත්රයට වැඩි සැලකිල්ලක් දක්වන අවස්ථා තිබෙනවා ද ?
මම වැටුප් කොමිෂන් දෙකක වැඩ කළා. නමුත් එවැනි යෝජනා ඉදිරිපත් වුණේ නැහැ. නමුත් වැටුප් කොමිෂම හමුවට පැමිණෙන සැම වෘත්තීය සමිතියක්ම තමන්ගේ අදාළත්වය, වටිනාකම ගැන කතා කරනවා. ඒක ඉහළ සිට පහළට තිබෙන තර්කයක්. නමුත් එවැනි ඉල්ලීම් හා බලපෑම් හමුවේ වැටුප් නිර්දේශ කිරීමක් කරන්නේ නැහැ, සාධාරණ හා තාර්කික ලෙසයි වැටුප් වැඩි කිරීම සම්බන්ධ නිර්දේශ ලබා දෙන්නේ. ඒ වගේම ප්‍රායෝගික, භූමිය මත යථාර්ථවත් කළ හැකි යෝජනා පමණයි වැටුප් කොමිෂමක් විසින් ඉදිරිපත් කළ යුතු වෙන්නේ.
- ලංකාවේ විසඳීමට නොහැකි වැටුප් විෂමතාවක් තිබෙන අංශය කුමක් ද ?
රාජ්‍ය අංශයේ ඉහළ කළමනාකරණ සේවයට වැටුප් අඩුයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන් ආදි ක්ෂේත්‍ර කිහිපයකට වැටුප් අඩුයි. නමුත් මහ බැංකුව, අධිකරණ ක්ෂේත්‍රය තුළ යම් පමණකට වැටුප් විෂමතා සම්බන්ධ ගැටලුව අවසන් වෙමින් තිබෙනවා. නමුත් වර්තමානයේ තිබෙන වැටුප් විෂමතා ඉවත් කරන්න කිසිම ආකාරයකින් හැකියාවක් නැහැ. එවැනි වැටුප් විෂමතාවක් ඉවත් කරන්න පුළුවන් තරම් ආර්ථික ශක්තියක්, හැකියාවක් ආණ්ඩුවට නැහැ.
- මේ සම්බන්ධයෙන් සමාජයට, වෘත්තීය සමිති වලට ලබා දෙන්න කිසියම් පණිවිඩයක් ඔබට තිබෙනවා ද ?
දේශපාලන පක්ෂපාතීත්වයෙන් තොරව, සාධාරණ යෝජනා ආණ්ඩුවට ඉදිරිපත් කළ යුතුයි. බොහෝ විට ආණ්ඩුව බලන්නේ තමන්ට නායකත්වය දෙන දේශපාලන පක්ෂයේ න්‍යාය පත්‍රයට ගැළපෙන යෝජනාවක් ගේන්න. ඒක වැරදියි. ඒ නිසා සාධාරණ වැටුප් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළොත් ඒක රජයකට පිළිගන්න පුළුවන්. ඒ වගේම වෘත්තීය සමිති ව්‍යාපාරය නිර්දේශපාලනීකරණය අනිවාර්යය කොන්දේසියක් ලෙස මම දකිනවා. එවැනි වෘත්තීය සමිති ව්‍යාපාරයකට රජයට යටත් නොවී අදීනව කටයුතු කරන්න පුළුවන්. දේශපාලන පක්ෂ වලට යටත් වුණ වෘත්තීය සමිති ව්‍යාපාරයකින් කම්කරු ජනතාවට, වැඩ කරන ජනතාවට කිසිම යහපතක් හිමිවෙන්නේ නැහැ. එවැනි වෘත්තීය සමිති වලට අවශ්‍ය තමන්ගේ ආණ්ඩුව රැක ගැනීම පමණයි.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 මැයි 03 වැනි දින කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.














