දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින් ජනපති දිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ දෙදින රාජ්‍ය සංචාරයක් ආරම්භ කරමින් අද (03) පස්වරුවේ දිවයිනට ළඟා විය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණි. විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් මසූඩ් ඉමාඩ් යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් මෙහිදී විශේෂ උත්තමාචාරයක්ද පිළිගන්වන ලද අතර, සියලු ජාතීන් නියෝජනය වන පරිදි කුඩා දරු දැරියන් දෙරටේ ජාතික ධජ රැගෙන මග දෙපස රැඳී සිටිමින් මාලදිවයින් ජනාධිපතිවරයා වෙත හරසර පුද කළහ.

මාලදිවයින් – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට 61ක් වසරක් සපිරෙන අවස්ථාවේ සිදු කෙරෙන මෙම සංචාරය සනිටුහන් කරමින් මාලදිවයින් ජනාධිපතිවරයා මෙහිදී ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ සමරු ග්‍රන්ථයේ සටහනක්ද තැබීය.

මොහොමඩ් මුයිසු මහතා 2023 වසරේදී බලයට පත්වීමෙන් පසු සිදු කරන පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වේ.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත් වේ.

දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරිම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිබිඹු කරමින්, මෙම සංචාරය අතරතුරදී අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමටද නියමිතය.

එමෙන්ම මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කොළඹදී පැවැත්වෙන විශේෂ ව්‍යාපාරික හමුවකටද එක් වනු ඇත.

ජනාධිපති මුයිසු මහතා සමඟ සජිදා මොහොමඩ් මැතිණිය සහ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website