තමා ආණ්ඩුවට එක්වන ලෙස මේ දිනවල පැතිර යන කටකතාවලට නොරැවටෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
සිය facebook page හි විශේෂ වීඩියෝ පණිවිඩයක් ප්‍රකාශයට පත්කරමින් ඔහු පැවසුවේ තමාගේ දේශපාලනය වෙනස් බවත් හොඳ දේකට හොඳයි කියන්නත්, නරක දේකට නරකයි කියන්නත් තමාට හැකියාවක් ඇති බවයි.
හර්ෂ ද සිල්වා විසින් අද (07) නිකුත් කළ වීඩියෝ පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.
“මගේ දේශපාලනය වෙනස්, හොඳ දේකට හොඳයි කියන්නත්, නරක දේකට නරකයි කියන්නත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හිතන්නේ ඒක තමයි අලුත් දේශපාලනය. හැබැයි සමහරුන්ට මේක දිරවන්නේ නැහැ. උදාහරණයක් හැටියට රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස මම ඒ තනතුරේ ගෞරවය රැකෙන ආකාරයට තමයි මම වැඩ කරන්නේ. නමුත් මේක සමහරු වැරදි විදිහට අර්ථකථනය කිරීමට උත්සාහ කරනවා.
මට කියන්න තියෙන්නේ ‘හර්ෂ ද සිල්වා ආණ්ඩුවට යනවා’ වාගේ කටකතා වල කිසිම සත්‍යයක් නැහැ. අනෙක් අතට ආණ්ඩුව අපිව අවශ්‍යයි කියලා කියන කොට අපට යම් ගෞරවයක් දැනෙනවා. නමුත් මට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් මම කියන්න කැමතියි අපි ඒ ගෞරවය රකිනවා.
ඒ වගේම මම දිගින් දිගටම පාර්ලිමේන්තුවේ දී සහ එළියේ දී මගේ හඬ අවධි කරනවා. ඔය කටකතා වලට රැවටෙන්න එපා කියන එක තමයි මට කියන්න ඕනෑ වෙලා තිබුණේ.”















