අද (30) දින පැවැති රජයේ මුදල් කමිටුවේ CoPF දී සිදු වූ සමස්ත ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් CoPF කමිටුවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා ජනමාධ්‍ය හමුවේ කරුණු පැහැදිලි කිරීමක් කළේය. එම සම්පූර්ණ කතාව පහත දැක්වේ.
“අද මේ පැය 24 ඇතුළේ නොයෙකුත් සංවාදය ඇති වුණා, මුදල් ලේකම් එනවද – නැද්ද කියලා. එතුමාගේ ඉල්ලීමක් තිබුණා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ එන්න. මම ඒක පිළිගත්තේ නැහැ. අවසානයේ දී මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා සහ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැමිණියා. මහ බැංකු අධිපතිවරයා ලංකාවේ නැති නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිතුමිය සහ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පැමිණියා.
අපේ මුදල් කමිටුව පටන් ගන්න කලින් මම අපේ සාමාජික මන්ත්‍රීතුමන්ලා සහ මන්ත්රීතුමියන් සමඟ සාකච්ඡා කරලා අද වැඩ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිකර ගත්තා. පැය තුනහ මාරකට ආසන්න කාලයක් පුරා අපි මේ සාකච්ඡාව කළා, සුහදව මේ සාකච්ඡාව සිදු වුණා.
මේකෙන් ඉදිරිපත් වුණ කාරණා තමයි, ඔව් දැවැන්ත හොරකමක් වෙලා තිබෙනවා. කවුද මේ හොරකම කළේ කියන එක සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා.
මුදල් කමිටුව ලෙස අපේ වගකීම වෙන්නේ, රාජ්‍ය මුදල් අවභාවිතා වෙලා තිබෙනවා ද?, ඒවා සුරක්ෂිත කරන්න අලුත් නීතිත් එක්ක මුදල් අමාත්‍යාංශය බැඳිලා ඉන්නවා. ඒවා ක්‍රියාත්මක වුණා ද ?, කියන මේ ක්‍රියමාර්ග පැත්තෙන් සොයා බැලීමයි අපේ වගකීම වෙන්නේ. අවසානයේ දී අපේ ඍජු වගකීම තමයි රජයේ ණය කළමනාකරණය සහ ණය ගෙවීම පිළිබඳව අධීක්ෂණය කිරීම.
එහිදී මත වුණ කාරණයක් තමයි, ඇයි පාර්ලිමේන්තුවට මේ පිළිබඳව දැනුවත් නොකළේ, ඇයි මුදල් කමිටුව දැනුවත් නොකළේ කියන කාරණා. අපි ඉතාම ඔ්නෑකමින් කිව්වා, ඔවුන්ට යුතුකමක් තිබුණා මේ පිළිබඳව දැනුවත් කරන්න, නමුත් ඒක වුණේ නැහැ කියලා.
ඒ කෙසේ වෙතත්, මේ හොරකම සම්බන්ධයෙන් දැනට පරීක්ෂණ කරගෙන යන බව ඔවුන් අපට දත්ත සහිතව, සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කළා. නොවැම්බර් මාසයේ සහ ජනවාරී මාසේ අතරතුර ගෙවීම් 10ක් සිද්ධ වෙලා තිබෙනවා. මේ ගෙවීම් 10ම තමයි හොරකමකට ලක්වෙලා තියෙන්නේ. ඒකේ එකතුව තමයි ඩොලර් මිලියන 2.5ක් වෙන්නේ.
ජනවාරී මාසේ විතර ‘යම් යම් අක්‍රමිකතා සිදුවෙනවා ද’ කියලා යම් සැකයක් ඇති වෙලා තිබෙනවා, රතු කොඩි එසවෙලා තිබෙනවා. ඒත් එක්කම මුදල් අමාත්‍යාංශය හරහා යම් යම් විමර්ශන කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. ඊළඟට අදාළ අංශ දැනුවත් කරලා තිබෙනවා. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අද මේ ගැන අපව දැනුවත් කළා.
නමුත් මාර්තු මාසේ තමයි ඔවුන් ඍජුවම දැනගෙන තිබෙන්නේ, මේ ගෙවීම් 10න් එකක්වත් අදාළ පාර්ශ්වයට ගිහින් නැහැ, යම් හොරකමක් සිද්ධ වෙලා මේ මුදල් අපේ භාණ්ඩාගාරයට අහිමි වෙලා කියලා.
මම ඒක ඔවුන්ගෙන් ඍජුවම විමසලා සිටියා. මුදල් රෙගුලාසි යටතේ යම් යම් ක්‍රියාමාර්ගයන් ගත යුතුව තිබෙනවා. ඒ ක්‍රියාමාර්ගයන් ගත්ත ද කියලා මම ප්‍රශ්න කළා.
මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ පිළිතුර වුණේ, ඔවුන් ඒ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළා, කමිටු පත් කළා, යම් විමර්ශන වාර්තාවක් ඉදිරිපත් වුණා, ඒත් සමඟ ඔවුන් ඉදිරියට ක්‍රියාත්මක වුණ බවයි.
අපේ දීර්ඝ ප්‍රශ්න කිරීම යටතේ පැහැදිලි වුණ දේ තමයි, මේ ක්‍රියාවලිය තුළ දැවැන්ත හිඩැස් තිබෙනවා. මේ දැවැන්ත හිඩැස් අතරින් හොරුන්ට රිංගලා යන්න පුළුවන්. මේක තමයි වෙලා තියෙන්නේ. රතු කොඩි එසවෙද්දීත්, ‘මේ ක්‍රියාමාර්ගය මෙහෙම වුණ’ නිසා තමයි මේ ගැටලුව මතු වුණේ.
මම කලින් කිව්වා වාගේ මේක පොලිසිය සහ අධිකරණය විසින් තීරණය කළ යුතු කටයුත්තක්. ඒක ඒගොල්ලන්ට භාර දෙනවා. නමුත් අපි, රජයේ මුදල් කමිටුව ලෙස දිගින් දිගටම මේ පිළිබඳව අපේ දැඩි අවධානය යොමු කරලා, වෙන්නේ කුමක් ද කියන එක දිගටම සොයනවා, ඒ අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරනවා.
මුදල් කමිටුවේ සියලුම සාමාජිකයින්ගේ එකඟත්වයෙන් අපි ඔවුන්ට මාසයක කාලයක් ලබා දුන්නා. මාසයකින් සියලු සාක්ෂි සහිතව වාර්තාවක් අප වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළා. ඊට පස්සේ අපි තීරණය කරමු මොකක්ද කරන්නේ කියලා.
‘කවුද මේවට වගකියන්නේ ?’ කියන කරුණ සම්බන්ධයෙන් තමයි දිගින් දිගටම සාකච්ඡාව ගියේ.
කලින් මහ බැංකුවේ වක්‍ර කටයුත්තක් ලෙස තමයි රාජ්‍ය ණය කළමනාකරණය තිබුණේ. දැන් ඒක මහා භාණ්ඩාගායේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කියලා අලුත් අංශයකට දීලා තිබෙනවා. ඒ වගේම ව්‍යාජ ගිනුමකට මුදල් බැර කිරීමක් වෙලා තිබෙනවා.
බොහෝ නීති, රීති සහ ක්‍රමවේද භාවිතා වෙනවාද – නැද්ද ? කියන එක පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. සයිබර් අපරාධ හැම තැනම තිබෙනවා. මේවා විගණනය වෙලා තිබෙනවා ද, සාමාන්‍ය පරිදි විගණනය වෙලා තිබෙනවා ද, ඔස්ට්‍රේලියාව කියන තෙක් ඉන්න වුණේ ඇයි ?, මේ සම්බන්ධයෙන් විගණනයට කරුණු වාර්තා නොවුණේ ඇයි ?. මේ වගේ ප්‍රශ්න රාශියක් අපි ඔවුන්ට ඉදිරිපත් කළා.
අවසානයේ දී අපි දැක්ක දේ තමයි හිඩැස් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඉදිරියේ දී ඒවා වසා දැමිය යුතුයි.
- මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ද්විත්ව පුරවැසියෙක් කියලා කියනවා. කෝප් කමිටුවේ දී මේ ගැන ප්‍රශ්න කළා ද ?
නැහැ, එහෙම ප්‍රශ්නයක් පැනනැගුණේ නැහැ.
- ඔබ කිව්වා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට වාර්තාවක් ලබා දෙන්න කියලා මාසයක් කල් දුන්නා කියලා. ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
ඒ වාර්තාව සහ අධිකරණමය ක්‍රියාවලිය කියන්නේ දෙකක්. ‘කවුද හොරා ?’කියන එක පොලිසිය සහ අධිකරණය සොයා ගනිවී, අපි පොලිසිය නෙමෙයිනේ. ඒක අධිකරණමය කටයුත්තක්. අපි කරන්නේ රජයේ මුදල් පිළිබඳ අධීක්ෂණය කිරීම පමණයි. අපේ කාර්යභාරය සහ පොලිසියේ සහ අධිකරණයේ කාර්යභාරය කියන්නේ දෙකක්.
මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා දිගටම කිව්වා, ‘මේක අපරාධයක්’ කියලා. ඒ කියන්නේ අපරාධයක් වෙලා තිබෙනවා. අපරාධ සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අධිකරණය හරහා සිද්ධ වෙයි. අපේ වගකීම ‘හොරා අල්ලන එකට වඩා පුළුල්’ ප්‍රතිපත්තිමය කාර්යභාරයක්. ඉදිරියේ දී මෙවැනි දේවල් සිදුවන එක වැළැක්වීම තමයි අපේ මූලික කාර්යභාරය.















