කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පසුගිය 25 වැනිදා රුපියල් කෝටි 110ක අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් භික්ෂූන් 22 දෙනම මෙහෙය වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් භික්ෂුව මැයි 2 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය නියෝග කළාය.
ඒ කඩවත රම්මුතුගල ශ්‍රී පුන්‍යා ලංකාරාම විහාරයේ, අගුණුකොලේ අමිතානන්ද නම් සැකකාර භික්ෂුව අද (27) මීගමුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
සැකකාර භික්ෂුව තායිලන්තයේ සිට ගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළේදී භාරගැනීමට සුදානම්ව සිට ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මත්ද්‍රව්‍ය සමඟ සැකකාර භික්ෂූන් විසිදෙදෙනා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම භික්ෂුව එම ස්ථානයෙන් පලාගොස් මිරිස්වත්ත ප්‍රදේශයේ සැඟවී සිටිය දී ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබුණි
සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගැනීමෙන් පසු ලබා ගත් වෛද්‍ය වාර්තා අනුව ද සැකකරු එම අවස්ථාවේදී ද මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බව හෙළි වූ බව පොලිසිය අධිකරණය දැනුම් දුන්නේය.
අත්අඩංගුවේ පසුවන සෙසු භික්ෂූන් පිරිස තායිලන්තයට යැවීම ද මෙම සැකකරු විසින් මෙහෙයවා ඇති බවත් ඔවුන් සම්බන්ධකරගත් Whatsapp ගිණුම ද සැකකරු විසින් ම මෙහෙයවා ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.














