

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද රතු නිවේදනවලට අනුව මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල අවදානම් සහිත ස්ථානවල ජීවිත් වන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල හඳුනාගත් අවදානම් සහිත ස්ථාන සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (08) නායයෑමේ රතු නිවේදනයක් නිකුත් කළේය.
අදාළ ස්ථානවල සිටින ජනතාව දෙසැම්බර් මස 9 වනදින සිට 19 වන දින දක්වා කාලය තුළ සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත.
මෙහිදී දිස්ත්‍රික් ලේකම්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරී, ශ්‍රී ලංකා පොලීසිය හා වෙනත් අදාළ පාර්ශ්වකරුවන්ගේ සම්බන්ධීකරණෙයන් මෙම ඉවත්කිරීමේ කටයුතු සිදුකරන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී තිබේ.
ඒ අනුව ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන ප්‍රදේශ පහතින් දැක්වේ.
මහනුවර දිස්ත්‍රික්කය – හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්භාගේකෝරළේ, දෙල්තොට, පූජාපිටිය, ගඟඉහළකෝරළේ, පන්විල, ගඟවටකෝරළේ, උඩපළාත, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ, මිනිපේ, දොළුව, තුම්පනේ, අකුරණ, උඩුනුවර හා පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ.
කෑගල්ල දිස්ත්‍රික්කය – කෑගල්ල, ගලිගමුව, මාවනැල්ල, බුලත්කොහුපිටිය, අරනායක, යටියන්තොට, රඹුක්කන, වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ..
කුරුණෑගල දිස්ත්‍රික්ක – මාවතගම, මල්ලවපිටිය, රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ.
මාතලේ දිස්ත්‍රික්කය – නාඋල, විල්ගමුව, පල්ලෙපොළ, අඹන්ගඟකෝරළේ, ලග්ගල, පල්ලෙගම, උකුවෙල, රත්තොට, මාතලේ සහ යටවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ.











