ලෝක ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය දැනුවත් කිරීමේ සතිය – 2025 (World Antimicrobial Resistance Awareness Week – WAAW- 2025) නොවැම්බර් 18 සිට 24 දින දක්වා යෙදී ඇත.
ඒ වෙනුවෙන් සංවිධානය කරතිබූ ජාතික උත්සවය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.
“අදම ක්‍රියාත්මක වෙමු. අපගේ වර්තමානය ආරක්ෂා කර ගනිමු. අපගේ අනාගතය සුරක්ෂිත කරමු” (Act Now: Protect Our Present, Secure Our Future) යන්න තේමා කර ගනිමින් මෙවර ජාතික උත්සවය පැවැත්වුණු අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිජීවක ප්‍රතිරෝධය වැළැක්වීම පිළිබඳ ජාතික කේන්ද්‍රස්ථානයේ ප්‍රධානී මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතාගේ මූලිකත්වයෙන් එම අංශය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ප්‍රතිරෝධ දැනුවත් කිරීමේ සතිය තුළ දී ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය පිළිබඳව දැනුවත්භාවය සහ අවබෝධය ඉහළ නැංවීම මෙන්ම ඖෂධ-ප්‍රතිරෝධී ආසාදන මතුවීම සහ පැතිරීම අවම කිරීම, සුදුසුම ඖෂධ භාවිතය ප්‍රවර්ධනය කරයි.
මෙහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය බොහෝ අවස්ථාවන්හි දී “නිහඬ වසංගතයක්” ලෙස හැඳින්විය හැකි බව සඳහන් කළේය.
ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය අභියෝගයක් බව සදහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා එය පැතිකඩ දෙකකින් තමන් දකින බවත්, ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයට නායකත්වය ලබා දෙන්නෙකු සහ සන්නිවේදකයෙකු ලෙසින් බව ද පැවසීය.
රෝහල් සහ රසායනාගාර ශක්තිමත් කිරීම, ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ඖෂධ ප්‍රතිරෝධය අඳාළ වැඩසටහන් සඳහා සෘජුව සහාය වීම, ආසාදන වැළැක්වීම සහ පාලනය ප්‍රවර්ධනය කිරීම, ඖෂධ නියාමනය සහතික කිරීම වැනි ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය මෙහි දී අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිජීවක යනු සියලු රෝග සඳහා ප්‍රතිකාරයක් නොවන බව මෙරට පුරවැසියන් දැනගෙන සිටිය යුතු බව ද පැවසීය.











