විශාල ඩොලර් ප්‍රමාණයක් අපනයන ආදායම ලෙස රටට ගෙනඑන වතු කම්කරු ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටුකිරීම රජයේ වගකීමක් බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය.
ඒ රජය විසින් වතු කම්කරුවන් වෙනුවෙන් රුපියල් 200 දෛනික පැමිණීමේ දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දීන් නැගූ පැනයන්ට පිළිතුරු ලබා දෙමිනි.
මෙය අප රටේ වැවිලි නිෂ්පාදනය වැඩි කරගැනීම සදහා රජය ලබාදෙන දිරි දීමනාවක් බව ද, ඔවුන්ගේ පැමිණීම වැඩිවී නිෂ්පාදන ඵලදායීතාවය වැඩිවීමෙන් අපනයනය සඳහා වැඩි හැකියාවක් උදාවුවහොත් එය රටට යහපතක් බව පෙන්වා දුන්නේය.
වතු සමාගම් වලට තව දුරටත් උදවු කරන බවද , එලෙස උදවු කර අවශ්‍ය ඉලක්ක වලට ඒමට නොහැකි වුවහොත් අදාළ වතු සමාගම් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බව ජනාධිපතිතුමා පැවසූ බව සිහිපත් කළ කැබිනට් ප්‍රකාශකවරයා මෙතෙක් රුපියල් 1350ක් ලබාගත් වතු කම්කරුවාට තවත් රුපියල් 400ක් අතට ලැබීම සාධාරණ බවද පෙන්වා දුන්නේය.
මින් පෙර බලයේ සිටි ආණ්ඩු ගණනාවක් මෙලෙස වතු කම්කරුවන්ට දීමනාවක් ලබාදෙන බව පැවසුව ද එය ලබාදීමට නොහැකි වූ බව ද කැබිනට් ප්‍රකාශවරයා පෙන්වා දුන්නේය.











