දීපවාලිය සැබැවින්ම ආලෝක පූජාවකි. දීපවාලී දිනයේ සෑම නිවසක්ම හෙළි කරමින් දැල්වෙන පහන් සිලෙන් මෙරට ජනතාව ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ කෙරෙහි තැබූ අපේක්ෂා ඉටු කිරීමට අප එක්ව යන මාවත තවත් එකලු වේවායි ප්රාර්ථනා කරමින් ශ්රී ලාංකේය සහ ලෝවාසී සියලු හින්දු බැතිමතුන්ට ස්වකීය සිත්සතන් ප්රභාවත් කෙරෙන සුබ දීපවාලී සැමරුමක් වේවායි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දීපවාලී දිනය නිමිත්තෙන් සුභ පැතුම් එක් කරමින් කියා සිටී.
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපවාලී උත්සවය අදට (20) යෙදී ඇත. විෂ්ණු දෙවියන් නරගාසුරන් නැමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් අධර්මය පරදා ධර්මය ජයගත් අයුරින් සියල්ලන්ගේ සිත්සතන්හි අඳුර දුරලන ආලෝකය පැතිරේවායි යන ප්රාර්ථනය පෙරදැරිව ඔවුහු ආගමික වතාවත්හි නිරත වෙති.
මෙම සැමරුමෙන් අයහපතට එරෙහිව යහපතෙහි ජයගැන්ම සංකේතවත් කරයි. මේ වන විට අප ආණ්ඩුවේ දැවැන්ත අභියෝගයක් මෙන්ම, මෙරට ඉදිරි ගමනට අකුල් හෙළන විසල් බාධකයක්ව පවතින මත් උවදුර සහ සටිබිම්ගත අපරාධ මැඬලීමට රජය මහත් වෑයමක නිරතව සිටී. සියලු දෙනාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරමින්, එය යහපත් සහ සෞඛ්ය සම්පන්න ජීවිතයකට ඇති අයිතිය ලෙසින් ප්රවර්ධනය කිරීම අපගේ මෙම ප්රයත්නයෙහි මුඛ්ය අරමුණයි.
එසේම, අප පුරවැසියන්ගේ පමණක් නොව, මෙරට වෙසෙන, මෙහි පැමිණෙන සියලු ජනයාගේ ශාරීරික, මානසික, භෞතික සහ චිත්තවේනීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන වගකීම වෙනුවෙන් රජයක් ලෙස අපි උරදී සිටින්නෙමු. සියලු ආගම්වාදී, ජාතිවාදී බලවේග පරාජය කරමින්, සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමටත්, සෑම කෙනෙකුටම සිය සිවිල්, දේශපාලනික සහ සංස්කෘතික ඇතුළු සියලු අයිතිවාසිකම් බාධාවකින් තොරව භුක්තිවිඳිය හැකි, සියලු දෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොනැඟීමටත් අප කැපවී ක්රියා කරන බව මෙහිලා අවධාරණය කරමි.
ඇම්. ඩී. ධර්මසිරි






