රුපියල් 70,50,000ක පමණ වටිනාකමකින් යුත් විදෙස් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (27) පෙරවරු 11.15ට පමණ මැලේසියාවේ සිට පැමිණි AK45 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි 23ත් 32ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් ව්‍යාපාරික ආයතනවල සේවකයන් ලෙස කටයුතු කරන ශ්‍රී ලාංකිකයන් බව සඳහන් වේ.
ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාර්ගය (Green Channel) ඔස්සේ පිටවීමට උත්සාහ කිරීමේදී, ඔවුන්ගේ ගමන් මලු තුනක් තුළ සඟවා තිබූ විදෙස් දුම්වැටි කාටූන් 235ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
එම දුම්වැටි තොගයට දුම්වැටි 47,000ක් අයත් වන අතර, එහි මුළු වටිනාකම රුපියල් 70,50,000ක් පමණ වන බවට තක්සේරු කර ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ රාජසන්තක කිරීමටත්, අදාළ පුද්ගලයන්ට රුපියල් 175,000ක දඩ මුදලක් නියම කිරීමටත් පියවර ගෙන තිබේ.















