පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීම සඳහා ‘වන ඝනත්වය’ ආරක්ෂා කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග රැසක්

පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීමේ අරමුණින් “ වන ඝනත්වය” ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාත්මක කරන ක්‍රියාමාර්ග රැසක් සභාගත කෙරෙයි.

ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 2023 වසරේ සිදු කරන ලද සංගණනය අනුව 29.47% ක් බැවින් පැරිස් ගිවිසුම අනුව 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 32% දක්වා ඉහළ දැමිය යුතුව ඇත. ඒ වෙනුවෙන් පරිසර අමාත්‍යාංශය ලෙස පියවර ගණනාවක් ගෙන තිබේ. ශ්‍රි ලංකාවේ දිස්ත්‍රික්ක අතුරින් වැඩිම වන ඝනත්වය මුලතිව් දිස්ත්‍රික්කයට හිමි අතර එය 62.20% කි. අඩුම වන ඝනත්වය වන 2.05% ගම්පහ දිස්ත්‍රික්කයට හිමිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාගත කළ පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය.

මෙලෙස, පාර්ලිමේන්තුවේදී සභාගත කරන ලද පිළිතුරට අනුව , රජය බලයට පත්වීමෙන් පසු ආරම්භ කළ ‘වනස්පති’ වැඩ සටහන යටතේ පසුගිය වසර දෙකක කාලයේදී රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති වනාන්තර 113ට හෙක්ටයාර 71990.26 ක් ඇතුළත් වෙයි.

මීට අමතරව, රට තුළ සිදුවන වන විනාශය ඇතුළු වන අපරාධ වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ කර ගනිමින් 2025 නොවැම්බර් මාසයේ සිට ‘වන සුරැකුම’ නමින් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ.එම විශේෂ මෙහෙයුම යටතේ 2025 නොවැම්බර් 03 සිට 2026 ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ සිදුවීම් 701ක් වාර්තා වී ඇති අතර, ඉන් සිදුවීම් 216කට අදාළව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද සඳහන් වෙයි.

වන ආවරණය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන අනෙකුත් ක්‍රියාමාර්ග අතර, වනාන්තර ආශ්‍රිතව සිදු වන සතුන්ගේ තණ උලාකෑම හා කොළ අතු ආහාරයට ගැනීමෙන් ඇතිවන බලපෑම් මෙන්ම ගිනි තර්ජන පාලනය කරමින් ස්වාභාවික පුනර්ජනනයට අවස්ථාව සැලසීම, දේශීය ශාක විශේෂ රෝපණය කිරීම සහ ආක්‍රමණශීලී ශාක විශේෂ ඉවත් කිරීමට හා පාලනය කිරීමට කටයුතු කෙරෙයි.

ජාතික වන ආවරණ සිතියම යාවත්කාලීන කිරීම මඟින් වන ආවරණයේ සිදුවන වෙනස්කම් හඳුනාගෙන අධීක්ෂණය කිරීම, වන විනාශය හා අනවසරයෙන් වනාන්තර එළිපෙහෙළි කිරීම හඳුනා ගැනීම සඳහා භූගෝලීය තොරතුරු පද්ධති (GIS) සහ දුරස්ථ සංවේදන තාක්ෂණය භාවිත කොට වන විනාශය පාලනය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබේ.

එමෙන්ම, චන්ද්‍රිකා ඡායාරූප හා භූමි සමීක්ෂණ මඟින් වන ආවරණයේ වෙනස්කම් නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම, වන ආවරණය අඩුවන ප්‍රදේශ හඳුනාගෙන අදාළ බලධාරීන් දැනුවත් කිරීම සහ වනාන්තරමය ඉඩම්, රක්ෂිත වනාන්තර හා සංරක්ෂණ වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර කොට අයිතිය නීත්‍යානුකූල කිරීම ද සිදු කෙරේ.

හායනයට ලක් වූ වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීම හා නැවත වන වගා කටයුතු සිදු කිරීම මෙන්ම, වන ආවරණය සම්බන්ධ දත්ත විශ්ලේෂණය කර ඒ අනුව වන සංරක්ෂණ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීම ද මෙම වැඩපිළිවෙළට ඇතුළත් වෙයි.

තවද, වන ඉඩම් අනවසරයෙන් භාවිත කිරීම වැළැක්වීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනෙකුත් අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන අතර, වන ආවරණය හා පාරිසරික පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ සහ වන ව්‍යාප්ති කටයුතු ද ක්‍රියාත්මක කරනු ලබයි.

මීට අමතරව, ප්‍රජාව සමඟ සම්බන්ධීකරණයෙන් ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් ගොවි වන වගා හා ප්‍රජාමූලික වන වගා වැඩසටහන් පුද්ගලික අංශය සමග සහභාගිත්වයෙන් වන වගා සිදු කරන බව සභාගත කළ පිළිතුරේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website