ශ්රී ලංකා පොලිස් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එක්සත් ජාතීන්ගේ කල්ලි මර්දන බලකායේ (Gang Suppression Force – GSF) සේවය කිරීම සඳහා ශ්රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 45 දෙනෙකුගෙන් යුත් ප්රථම කණ්ඩායම පසුගිය දා (16) හයිටි රාජ්යය බලා පිටත්ව ගියහ.
මෙම කණ්ඩායමට පරීක්ෂක ශ්රේණියේ නිලධාරීන් 7 දෙනෙකු සහ අනෙකුත් නිලයන්ට අයත් සාමාජිකයින් 38 දෙනෙකු ඇතුළත් වන අතර, ඔවුන් හයිටි හි ක්රියාත්මක එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම යටතේ සිය රාජකාරී කටයුතු සිදු කරනු ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශේෂයෙන් සූදානම් කරන ලද ගුවන් යානයකින් මෙම කණ්ඩායම බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනෙන් පිටත්ව යන ලදී.
මෙම කණ්ඩායම යොමු කිරීම, පොලිස්පති නීතීඥ ප්රියන්ත වීරසූරිය සහ විශේෂ කාර්ය බලකායේ වැඩබලන අණදෙන නිලධාරී, නියෝජ්ය පොලිස්පති රෝයි සුමනවර්ධන යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය හා මාර්ගෝපදේශකත්වය යටතේ සංවිධානය කර තිබුණි. හයිටි බලා පිටත්ව යන මෙම කණ්ඩායම වෙත සුබ පැතුම් එක් කිරීම සඳහා එම බලකායේ ජ්යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.
ජාත්යන්තර රාජකාරී සඳහා පිටත්ව යන මෙම නිලධාරීන්ට සමුදීම සඳහා ඔවුන්ගේ පවුලේ ඥාතීන් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර, එහිදී ඔවුන් තම ආදරණීයයන්ට සමු දෙමින් ආරක්ෂිත සහ සාර්ථක රාජකාරී ගමනක් සඳහා සුබ පැතුම් එක් කළහ.








