2015.07.16 දිනැති අංක 1923/65 දරන අතිවිශේෂ ගැසට් පත්රයේ අංක 59 දරන විධානය අනුව, ශ්රී ලංකාවේ නිෂ්පාදනය කරන හෝ ආනයනය කරන යතුරුපැදි ආරක්ෂිත හිස්වැසුම් සඳහා SLS 517 ප්රමිතියට අදාළ SLS ප්රමිති සහතික ලාංඡනය තිබීම අනිවාර්ය වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඒ අනුව, SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, බෙදාහැරීම, ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම නීතිවිරෝධී වේ.
ඒ අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය 27 වැනි දින දිවයින පුරා විශේෂ වැටලීම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, සාර්ථක වැටලීම් 98ක් සිදුකර ඇති අතර SLS ලාංඡනය නොමැති හෙල්මට් 431කට අධික ප්‍රමාණයක් අධිකාරියේ භාරයට ගෙන ඇත.
SLS බලපත්‍රය අලුත් නොකළ කාලසීමාව තුළ නිෂ්පාදනය කළ හෙල්මට් 3,520ක අලෙවිය කර්මාන්තශාලා දෙකකදී තහනම් කර ඇත.
2026 ජනවාරි සිට ජූනි දක්වා කාලය මේ හා සම්බන්ධ නඩු 53ක් ගොනු කර ඇති අතර හෙල්මට් 87ක් අධිකාරියේ භාරයට ගෙන නඩු 39ක් අවසන් කර ඇති අතර, නඩු 14ක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග පවත්වාගෙන යනු ලබයි.
2026 වසරේ මේ දක්වා වැටලීම් හා නීතිමය ක්‍රියාමාර්ග 151ක් සිදුකර ඇති අතර, හෙල්මට් 4,038කට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් භාරයට ගැනීම, අලෙවිය නතර කිරීම ඇතුළු නීතිමය පියවර ගෙන ඇත.
නිෂ්පාදකයන් සහ වෙළෙඳුන්ගේ අවධානයට ලක්විය යුතු කරුණු කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යළි සිහිපත් කර දෙයි.
- වලංගු SLS බලපත්‍රයක් නොමැතිව හෙල්මට් නිෂ්පාදනය නොකරන්න.
- ආනයනකරුවන්, බෙදාහරින්නන්, තොග හා සිල්ලර වෙළෙඳුන්, ජංගම වෙළෙඳුන් සහ Online වෙළෙඳුන් ඇතුළු සියලුම වෙළෙඳ පාර්ශ්ව විසින් SLS ලාංඡනය නොමැති හෙල්මට් ගබඩා කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීමෙන් වළකින්න.
පාරිභෝගිකයන් වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පහත දැක්වෙන කරුණු අවධාරණය කරයි.
අඩු මිල පමණක් සලකා SLS ලාංඡනය නොමැති, බාල තත්ත්වයේ හෙල්මට් මිලදී ගැනීමෙන් සහ භාවිත කිරීමෙන් වළකින්න.
ප්‍රමිතියෙන් තොර හෙල්මට් එකක් අනතුරකදී ඔබේ ජීවිතය ආරක්ෂා නොකරනු ඇත. එහි ප්‍රතිවිපාක ඔබට පමණක් නොව ඔබේ පවුලේ සාමාජිකයන්ට සහ හිතමිතුරන්ටද බලපායි.
හෙල්මට් එකක් මිලදී ගැනීමට පෙර SLS ලාංඡනය පරීක්ෂා කරන්න. නිසි බිල්පතක් ලබාගන්න.
📞 SLS ලාංඡනය නොමැති හෙල්මට් නිෂ්පාදනය කරන හෝ අලෙවි කරන පුද්ගලයන් හා ආයතන පිළිබඳ තොරතුරු කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන්න.
මහජන දැනුවත් කිරීමේ උදෙසා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිල ෆේස්බුක් පිටුවෙන් කළ ඍජු උපුටා ගැනීමකි – සංස්කාරක













