ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවලට සමූහ ඝාතන සහ මාරාන්තික කෝලාහල පිළිබඳ දිගු, ප්‍රචණ්ඩකාරී ඉතිහාසයක් ඇති අතර, ඒවා බොහෝ විට දැඩි තදබදය, වාර්ගික ආතතීන් සහ කල්ලි ප්රචණ්ඩත්වය මගින් මෙහෙයවන බව මේ ක්ෂේත්රය සම්බන්ධ විද්වතුන්ගේ අදහස වේ.
සමූල ඝාතන ඉතිහාසය
මෙවැනි සමූහ ඝාතන දේශීය පමණක් නොව ජාත්‍යන්තර අවධානය ද දිනාගත් අතර එම සියලුම ඝාතනය පොදුවේ ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කළු පැල්ලමක් එක් කළ අතර 1983 ජූලි මස 25 වන වැලිකඩ බන්ධනාගාරයේ දී දෙමළ දේශපාලන සිරකරුවන් වූ කුට්ටිමනී යෝගචන්ද්‍රන් ඇතුළු දෙමළ දේශපාලන සිරකරුවන් 53 දෙනෙකු ඝාතනය කිරීම ජාත්‍යන්තර වශයෙන් දැඩි ආන්දෝලනයක් ඇති කළේය.
මෙම සිදුවීමෙන් පසු බන්ධනාගාර තුළ යම් යම් සිදුවීම් වාර්තා වුව ද 2012 නොවැම්බර් 10 වැනිදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ප්රචණ්ඩ ගැටුමකින් රැඳවියන් 27 දෙනෙකු ඝාතනය වීමේ සිද්ධිය එවකට පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් නිර්මාණය කළේය.
මේ අතර ගෝලීය කොවිඩ් – 19 වසංගතය පැවැති 2020 නොවැම්බර් මාසයේ මහර බන්ධනාගාරයේ විරෝධතා දැක්වූ රැඳවියන්ට ආරක්ෂක අංශ වෙඩි තැබූ අතර, 11 දෙනෙකු මිය ගොස් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
පසුගිය ජූලි 05 සහ 06 වැනි දිනවල මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ බව කියන ගැටුමක් හේතුවෙන් රැඳවියන් 19 දෙනකු සහ බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වරට බන්ධනාගාර නිලධාරීන් 07 දෙනකු ඝාතනය කරන ලද අතර එය බන්ධනාගාර ප්රචණ්ඩත්වය සහ බන්ධනාගාර පරිපාලනය පිළිබඳ (පහසුකම් ආදි) ප්‍රබල සමාජ සංවාදයක් නිර්මාණය කර ඇත.

බන්ධනාගාර සහ සිරකරුවන්
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මූලාශ්‍රවලට අනුව මෙරට බන්ධනාගාර 26ක් ක්‍රියාත්මක වන අතර මේවායින් හතරක් (04) ‘ප්‍රධාන බන්ධනාගාර’ ලෙස සැලකේ. බෝගම්බර, මහර සහ වැලිකඩ යන බන්ධනාගාරවල පමණක් මරණ දඬුවම ක්‍රියාත්මක වේ.
පසුගිය කාලය පුරාම මෙරට බන්ධනාගාරවල ධාරිතාව සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර උපුටා දක්වමින් ලෝකයේ ප්‍රකට පුවත්පතක් වන The Gradian පසුගිය දා වාර්තා කළේ මෙරට (ශ්‍රී ලංකාවේ) 10,000ක් පමණ රඳවා තබා ගැනීම සඳහා නිර්මාණය කර ඇති බන්ධනාගාරවල සිරකරුවන් 39,000කට වැඩි පිරිසක් රඳවා සිටින බවයි. ගාඩියන් පුවත්පත ඊට පසුව දිවයින පුරා බන්ධනාගාරවල සිරකරුවන් 41,250ක් සිටින බව පෙන්වන නිල දත්ත උපුටා දක්වමින් වාර්තා කළ අතර එය ධාරිතාව මෙන් හතර ගුණයක් බව ද සඳහන් කළේය.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා ‘රතුඉර’ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ මෙරට බන්ධනාගාරවල නිර්මාණය කර ඇත්තේ සිරකරුවන් 10,820 දෙනෙකු රඳවා තබා ගැනීමට ප්‍රමාණවත් වන අයුරින් බවයි. මේ තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර තුළ ‘විශාල තදබදයක්’ නිර්මාණය වී තිබෙන බව ද ඔහු පැවසුවේය.
මේ අතර පසුගිය ජූලි 02 වැනි දා රැස් වූ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දී හෙළි වූයේ බන්ධනාගාරගත වූවන් අතරින් 70%ක් පමණ සිටින්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවයි. දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බන්ධනාගාර තදබදය අවම කර ගැනීමේදී ඔවුන්ට අදාළව ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
බන්ධනාගාර ගත වූවන් අතරින් 70%ක් පමණ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බව රජයේ නිලධාරීන් ප්‍රකාශ කරද්දී නීතිඥ දුලාන් දසනායක පැවසුවේ බන්ධනාගාර රැඳවියන්ගෙන් 70%ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් ලෙස සැලකෙන බවයි.

බහුතරය කවුද ?
“ලංකාවේ බන්ධනාගාර රැඳවියන්ගෙන් 70%ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් ලෙස සැලකෙනවා, මේක සලකා බැලිය යුතු විශේෂ තත්ත්වයක්. මේ පසුබිම තුළ රක්ෂිත බන්ධනාගාරවල තත්ත්වය දැඩිව පිරිහෙමින් තිබෙන අතර එහි තදබදය සහ පීඩාවන් ද ඉහළ යමින් තිබෙනවා. ඇතැම් පුද්ගලයින් නිකරුණේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් ඔවුන්ගේ ජීවිත අවුල් වෙන අතර ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ ජීවිත අහිමි වීම පවා සිදුවෙලා තියෙනවා. විශේෂයෙන් මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ තරුණ – තරුණියන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත විනාශ වෙන බවට සමාජය තුළ පොදු අදහසක් තිබෙනවා” නීතිඥ දුලාන් දසනායක පැවසුවේ ය.
මෙහිදී දුලාන් පෙන්වා දුන්නේ බන්ධනාගාර තදබදය නිර්මාණය වීමට නඩු ප්‍රමාදය, රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සහ මර්ධනකාරී නීති කිහිපයක් මූලිකව බලපා ඇති බවයි.
ඇප පනත තිබෙන්නේ සැකකරුවන්ට ඇප ලබා දීමට වුවත් වෙනත් පනත් කිහිපයක ආවරණය ලබමින්, ඉතාම සූක්ෂමව ඇප ලබා නොදී සිටීමට චෝදක පක්ෂ පියවර ගන්නා බව කී දුලාන් 96%ක් පමණ නඩු පැවරීම සිදු කරන පොලිසිය මේ අතර ඉදිරියෙන් සිටින බව ද පෙන්වා දුන්නේය.
රස පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට යොමු කරන මත්ද්‍රව්‍ය වල ප්‍රමාණය වෙනස් වීම සහ ඇතැම් විට මත්ද්‍රව්‍ය ලෙස නම් කර යොමු කරන ද්‍රව්‍යවල ඊට හාත්පසින්ම වෙනස් අන්තර්ගතයන් තිබීම පිළිබඳව හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පවා සිය කණස්සල්ල පළ කළ බව ද දුලාන් මෙහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී නීතිඥ දුලාන් අවධාරණය කළේ රස පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා දෙන්නේ නම් චෝදක පාර්ශ්වය මීට වඩා සැලකිලිමත් වන බවයි.
හිතමතා තදබයක් ඇති කිරීම
බන්ධනාගාරවල අකටයුතුකම් හා බන්ධනාගාර නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කතා කරන නිර්මාණකරුවෙකු වන මො.ල. සෙනෙවිරත්න පැවසුවේ බන්ධනාගාර තුළ අධික තදබදයක් නිර්මාණය වී තිබෙන බවත්, මෙම තදබදය හිතාමතා නිර්මාණය කරන ලද තත්ත්වයක් වශයෙන් පිළිගැනීමට සිදුවන බවයි.
“රටේ මෙච්චර අපරාධකරුවන් පිරිසක් ඉන්න හේතුවක් නැහැ වගේම අපරාධ කරන සියලු දෙනාම බන්ධනාගාර ගත කළොත් රටෙන් භාගයක් විතර බන්ධනාගාර ගත කිරීමට සිදුවෙනවා. ඒ කියන්නේ අපරාධවලට සම්බන්ධ විශාල පිරිසක් එළියේ යහතින් ඉන්නවා. සමස්තයක් ලෙස ගත් විට බන්ධනාගාර ගත කර සිටින පිරිසෙන් 70%ක් පමණ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පුද්ගලයින්, බන්ධනාගාර තුළ තදබදයක් ඇති වීමට ප්‍රධාන හේතුවත් මේකයි. ඒ වගේම දිගින් දිගටම නඩු ප්‍රමාද වීම හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිසත් මේ තදබදය නිර්මාණය කිරීමට හේතුවක් වෙලා තිබෙනවා. නමුත් ප්රශ්නය තමයි මේ සම්බන්ධයෙන් සමාජය තුළ, ප්‍රතිපත්ති සම්පාදකයින් අතර සංවාදයක් සිදු නොවීම. ඒකට හේතුව තමයි මේ ක්‍රියාවලිය හදලා තිබෙන්නෙම එක්තරා පිරිසකගේ වුවමනාවන් වෙනුවෙන් වීම” මො.ල සෙනෙවිරත්න සිය අත්දැකීම් ඇසුරින් බන්ධනාගාර වල වත්මන් තත්ත්වය පැහැදිලි කළේය. එහිදී ඔහු පෙන්වා දුන්නේ බන්ධනාගාර ගතවූවන්ගෙන් අති බහුතරය බලය අහිමි, කිසිවක් කරකියා ගත නොහැකි ලුම්පන් පංතියේ සාමාජිකයින් බවයි.
ලංකාවේ බන්ධනාගාර පුරවා ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පුද්ගලයින්ගෙන් වුවත් ඔවුන් මේ ආකාරයෙන් බන්ධනාගාර ගත කිරීම නිෂ්ප්රයෝජන ක්‍රියාවක් බව මො.ල. සෙනෙවිරත්නගේ අදහසයි. ඔහු පවසන්නේ මෙවැනි පුද්ගලයින් පුනරුථාපනය කිරීම වැදගත් බවත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජය ද මීට වඩා වෙනස් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවයි.

සිරකරුවෝ ද මනුෂ්‍යයෝය
“සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ යන පාඨය වැලිකඩ බන්ධනාගාරයේ දැවැන්ත තාප්පයේ සිතුවම් කර තිබේ. වාර්තා වන ආකාරයට මෙම පාඨය මේ ආකාරයෙන් ලියන ලද්දේ මෙරට ඩිව් ගුණසේකර මහතා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ දීය.
නමුත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා කියන්නේ ‘සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ යන පාඨය බෝඩ් ලෑල්ලට සීමා වී ඇති බවයි.
සිරකරුවෝ ද මනුෂ්‍යයෝය’ කියලා බෝඩ් ලෑල්ලක් තිබුණට ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බන්ධනාගාර තුළ දැක ගත හැකි බව පෙන්වා දුන් සේනක පෙරේරා එය වචනාර්ථයෙන් ඔබ්බට යාමට නම් ‘සිරකරු යුක්තිය’ ඉටුවිය යුතු බව අවධාරණය කළේය. එසේම බන්ධනාගාරයට ඇතුළත් කළ මොහොතේ සිට ආරම්භ වන මානසික වධහිංසා වළක්වා ලීමට ද පියවර ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
“සිරකරුවන් විවිධාකාරයේ වධහිංසාවලට ලක් කිරීම, පහර දීම විශාල වශයෙන් බන්ධනාගාර වල තිබෙනවා. මෙහි උපරිමය සටහන් වුණ අවස්ථා තමයි 2012 දී වැලිකඩ බන්ධානාගාරයේ සහ 2022 දී මහර බන්ධනාගාරයේ සිදු කළ සමූල ඝාතනය සහ පසුගිය දා මීගමුව බන්ධනාගාරයේ ඇති වුණ සිද්ධිය. නමුත් මේ දක්වා මේ ඝාතනවලට වගකිව යුත්තන් නිදැල්ලේ සිටිනවා. ඒ වගේම පසුගිය කාලය තුළ විවිධ අවස්ථාවලදී බන්ධනාගාර තුළ දී සිරකරුවන් ඝාතනය කළ පුද්ගලයින්ට දඬුවම් ලබා දීමක් සිදුවෙලා නැහැ, මෙම පුද්ගලයින්ට යම්කිසි ආකාරයක මුක්තියක් තිබෙන බවයි අපට පේන්නේ”.
මෙහිදී සේනක පෙරේරා පෙන්වා දුන්නේ සිරකරුවන්ට ශක්තියක් නොමැති වීම සහ බාහිර සමාජය, සිවිල් සමාජය සිරකරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම මෙම තත්ත්වය තීව්රර වීමට හේතු වී ඇති බවයි.
කොමිෂන් සභා වාර්තා
බන්ධනාගාර තදබදය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම පොදු එකඟත්වයක් තිබුණ ද එයට පිළියම් යෙදීමට කිසිම රජයක් මේ දක්වා විධිමත් පියවර ගෙන නොමැති බව සේනක පෙරේරා ද කීවේය. ඔහුට අනුව ද බන්ධනාගාර රැඳවියන් මුහුණ දෙන බරපතළම ප්රශ්නය වන්නේ අධික තදබදයයි.
“මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම කතා වුණා. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල සහ මරණ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සඳහා 2015 වසරේදී ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා. එහි සභාපතිවරයා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා කටයුතු කළා. ‘නම්බුවසම් කොමිෂම’ ලෙස හැඳින්වෙන කොමිෂන් සභා වාර්තාවේ තිබෙනවා බන්ධනාගාර තදබදය සිරකරු අසහනයට, සිරකරු විරෝධතාවලට සහ කැරලිවලට හේතු වෙනවා කියලා. බන්ධනාගාර තදබදය අවම කිරීමට කඩිනම් පියවර ගත යුතුයි කියලා නම්බුවසම් කොමිෂම නිර්දේශ කරනවා. ඒ වගේම 2020 මහර බන්ධනාගාර සමූල ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ මහාධිකරණ විනිසුරු ‘සරෝජනී කුසලා වීරවර්ධන’ මහත්මියගේ සභාපතීත්වයෙන් පත් කළ කොමිෂන් සභාවේ වාර්තාවේත් ඉතාම පැහැදිලිව තිබෙනවා ‘බන්ධනාගාර තදබදය රැඳවියන් අසහනයට පත්කරන කාරණයක්’ කියලා.
මෙහි දී නීතිඥ සේනක පෙරේරා පෙන්වා දුන්නේ සාක්ෂි විභාග කරමින්, කරුණු විමර්ශනය කරමින් ප්‍රකාශයට ප්‍රකාශයට පත්කරන ලද මෙම කොමිෂන් සභා නිර්දේශ කිසිවක් ආණ්ඩු හෝ බලධාරීන් විසින් අවධානයට ගෙන නොමැති බවයි.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පසුගිය දා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය දෙස බලන්නේ ද ඉහත දක්වන ලද කරුණු මත පදනම්ව බව සේනක සිල්වා කීවේය.
මෙහි දී ඔහු චෝදනා කළේ බන්ධනාගාර තුළ රැඳවියන් – රැඳවියන් ඇති වන ගැටුම් සහ ආරවුල්වලට බන්ධනාගාර පරිපාලනයේ ප්‍රමාණවත් අවධානයක් යොමු නොවන බවයි.
බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් අතර පවතින ඍණාත්මක සබන්ධතාව, නිසි සන්නිවේදන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නොවීම, පක්ෂග්‍රාහීත්වය සහ නිලධාරීන් දූෂණ හා අක්‍රමිකතා ද ඔහු බන්ධනාගාර ගැටුම්වලට උත්තේජනය ලබා දෙන බව පෙන්වා දුන්නේය.
එසේම ඔහු තවත් වැදගත් කරුණක් වෙත ද සමාජ අවධානය යොමු කළේය. ඒ නිදහස් සමාජයේ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකු තවත් මොහොතකින් අපරාධකරුවෙක් වී බන්ධනාගාර ගතවීමට අවස්ථා ඕනෑ තරම් ඇති බවයි. එනිසා රැඳවියන් සම්බන්ධයෙන් මානුෂීය ආකල්පයක් දක්වන මෙන් ද සේනක ද සිල්වා සමාජයෙන් කාරුණිකව ඉල්ලා සිටියේය.
සටහන – භාතිය බරුකන්ද
රතුඉර පුවත්පතේ 2026 ජූලි 12 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි.












