එල්නිනෝ තියා මොනවා ආවත් ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටලුවක් නෑ – කෘෂිකර්ම ඇමති

එල්නිනෝ තියා මොනවා ආවත් අපිට ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවන ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන’ (SAPP) “FREINDS” 4P අගයදාම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රටකජු නිෂ්පාදන ගොවි සංවිධාන වෙත ට්‍රැක්ටර් බෙදාදීම වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ අද (30) පැවති උත්සවයේ දීය.

මෙම ව්‍යාපෘතිය මේ වනවිට ගලේවල, නාඋල, මහියංගණය, රිදීමාලියද්ද, කොබෙයිගනේ යන ප්‍රදේශවල ක්‍රියාත්මක වේ. දේශීය රටකජු නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගොවීන්ගේ නිෂ්පාදන කටයුතු වඩාත් පහසුවෙන් සිදු කරගැනීමට මෙම ට්‍රැක්ටර් උපකාරී වනු ඇත.

මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙසේ පැවසුවේය, “අපේ ප්‍රධාන වගකීම ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමයි. ඊළඟ කාරණය තමයි ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම. දැන් රටේ ආහාර හිඟයක් නැහැ. අපිට ඒ ගැන සතුටක් තියෙනවා. එල්නිනෝ තියා මොනවා ආවත් අපිට ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අපි රටකජු පිටරටින් ගේනවා. නමුත් අපේ රටේ රටකජු රහයි, ගුණයි. පිටරටින් ගේන ටික නවත්වගන්න පුළුවන් නම් හොඳයි. ඒ සඳහා මේ වැඩසටහනෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මේක අපේ ජාතික වැඩපිළිවෙළ සමඟ අනන්‍යයි. මේ වැඩසටහනට දායක වුණු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. ගොවි සංවිධාන අතේ තමයි මේකේ ඊළඟ ලොකුම කොටස තියෙන්නේ. මේවා ගන්නකොට තියෙන ගැම්ම ටික දවසක් යද්දි නැතිවෙලා යනවා. ඒ නිසා මේක අධීක්ෂණය කළ යුතුයි. පසුවිපරම වැදගත්. මේ ට්‍රැක්ටරය ලක්ෂ 63ක පමණ වටිනාකම තියෙන යන්ත්‍රයක්.

අපි ආනයන ආදේශන නිෂ්පාදන ඉදිරියට ගත යුතුයි. 99ක් හොඳ වැඩ වෙනකොට කොතන හරි වැරැද්දක් තමයි ලංකාවේ ප්‍රවෘත්ති කියන්නේ. රටේ ගොඩනඟන්න හදන්නේ ඔක්කොම සෘණාත්මක දේවල්. ඒ නිසා අපි මේක ධනාත්මකව ඉදිරියට ගෙනයමු.

ගොවීන් තමන් වෙනුවෙන් වගා කළා වුණාට ඒකෙන් ජාතික වුවමනාවකුත් ඉෂ්ට වෙනවා. ඒ නිසා තමයි ගොවියෝ ජාතික සම්පතක් විදිහට සලකන්නේ. ඔබ වෙනුවෙන් මේ රටේ මිනිස්සු විශාල මුදලක් යොදවනවා. වාරිමාර්ගෙට. කෘෂි මාර්ගවලට. බෝක්කුවලට. පොහොර සහනාධාරයට. හැමදේටම මේ රටේ පොදු ජනතාව විශාල කැපකිරීමක් කරනවා. ඒ නිසා පාරිභෝගිකයා පැත්තෙනුත් ගොවියා නිතරම හිතන්න ඕනේ. වී මිල විතරක් නෙවෙයි. හාල් මිල ගැනත් කල්පනා කරන්න ඕනේ. සමහරු යෝජනා කරනවනේ වීවලට රුපියල් 150ක් දෙන්න ඕනේ කියලා. හැමෝම තමන්ගේ දේ වගේම පොදු යහපත ගැනත් හිතන්න ඕනේ. මේ ව්‍යාපෘතිය හොඳ ආදර්ශවත් දෙයක්. මේවා පසුවිපරම් කරමින් ඉදිරියට අරගෙන යමු.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website