රාජ්‍ය සේවක වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ කාලය දීර්ඝ කරයි: අල්ලස් කොමිෂමෙන් නිවේදනයක්

මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියේ සාර්ථකව ලියාපදිංචි වී තිබියදීත් 2026 ජුනි 30 වන දින හෝ ඊට පෙර තම වත්කම් හා බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිලධාරීන්ට සහ 2026 ජුනි 30 වන දින හෝ ඊට පෙර මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට පිවිස ලියාපදිංචි වීමට උත්සාහ කළ නමුත් තාක්ෂණික දෝෂ හේතුවෙන් ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ නිලධාරීන්ට, 2026 ජූලි 7 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දඩ අයකිරීමකින් තොරව තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවසර දෙනු ලබන බව අල්ලස් හෝ දූෂණ වෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදන සම්පූර්ණයෙන් පහත දැක්වේ.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කල යුතු තැනැත්තන් සඳහා, වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ස්ථාපනය කර ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා පමණක් සිදුකල යුතුය.

2026.03.31 දිනට ඇති වාර්ෂික සහ පශ්චාත් විශ්‍රාම වත්කම් සහ බැරකම් ප්‍රකාශ, 2026.06.30 වන දිනට හෝ ඊට පෙර සිදුකල යුතු අතර, එසේ සිදුකිරීමේ දී දඩ මුදලකට යටත් නොවේ. මෙය, අගෝස්තු මස 31 දක්වා සිදුකල හැකි නමුත් ඒවිට දඩ මුදලකට යටත් වේ.

එසේ වූවද, 2026.06.28 වන දින සිට මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට දිනක් තුල ඇතුලත් වූ අධික පරිශීලක ප්‍රවේශය හේතුවෙන් පද්ධතිය තුල සිදුවූ තදබදය මත, ප්‍රකාශකයන් හට තාක්ෂණික දෝෂයන්ට මුහුණ පෑමට සිදුවූ බව අපවෙත වාර්තා වී ඇත.

ඒ අනුව, මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියේ සාර්ථකව ලියාපදිංචි වී තිබියදීත් 2026 ජුනි 30 වන දින හෝ ඊට පෙර තම වත්කම් හා බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිලධාරීන්ට සහ 2026 ජුනි 30 වන දින හෝ ඊට පෙර මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට පිවිස ලියාපදිංචි වීමට උත්සාහ කළ නමුත් තාක්ෂණික දෝෂ හේතුවෙන් ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකි වූ නිලධාරීන්ට, 2026 ජූලි 7 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දඩ අයකිරීමකින් තොරව තම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අවසර දෙනු ලැබේ.

වත්කම් හා බැරකම් ප්‍රකශ කිරීම පිළිබඳව වන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුලත් කිරීම සම්බන්ද ව මතුවන ගැටළු පිළිබඳව, කොමිෂන් සභාවේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අංශයේ 0767011954 සහ 0112587287 යන දුරකථන අංකයන් මඟින් පමණක් නිරාකරණය කර ගන්නා ලෙස මහජනතාව දැනුවත් කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website