ඩෙංගු පාලනයට ධූමකරණය ඵලදායී විකල්පයක් නොවේ – සෞඛ්‍ය කීට විද්‍යාඥයින්ගේ සංගමය

ඩෙංගු පාලනය සඳහා මදුරු ධූමකරණය පමණක් ඵලදායී උපාය මාර්ගයක් නොවන බවත්, ප්‍රයෝජනවත් කෘමීන් මරා දමා කෘමිනාශක ප්‍රතිරෝධයට දායක වීමෙන් සැලකිය යුතු පාරිසරික හානියක් සිදුවිය හැකි බවත් සෞඛ්‍ය කීට විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා පැවසුවේය.

අද (29) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් සුමනසේන මහතා පැවසුවේ ඩෙංගු මර්දනයට ධූමකරණය මූලික විසඳුම බව බොහෝ අය වැරදියට විශ්වාස කරන බවයි.

“ධූමකරණය ඉලක්ක කරන්නේ වැඩිහිටි මදුරුවන් පමණයි. මදුරුවාගේ බිත්තර, කීටයන් සහ ළපටි මදුරුවන්ට ධූමකරණය හරහා බලපෑමක් එල්ල වෙන්නේ නැහැ. ඒ වගේම ධූමකරණයේ එක් වටයකට රුපියල් 20,000 කට වඩා වැය වෙනවා. ඒ වගේම මේ හරහා පරිසරයට ප්‍රයෝජනවත් කෘමීන් විනාශ වෙනවා. විශේෂයෙන් පරාගණය හා පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරන මී මැස්සන් සහ බත්කූරන් වැනි ප්‍රයෝජනවත් කෘමීන් ද මරා දමනවා.

විද්‍යාත්මකව අවශ්‍ය වූ විට පමණක් ධූමකරණය කළ යුතුයි. ඊට සමගාමීව මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම වැනි මදුරු ගහනය අඩු කිරීමේ පියවර ක්‍රියාත්මක කළ යුතුයි. කෘමිනාශක අධික ලෙස භාවිතා කිරීම හරහා මදුරුවන් තුළ කෘමිනාශක ප්‍රතිරෝධය වේගවත් වෙනවා. එතුළින් මදුරු පාලනය වඩ වඩාත් දුෂ්කර කරනවා..

“අපි විද්‍යාත්මකව මහජනතාව දැනුවත් කරන අතර අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් ධූමකරණය නිර්දේශ කරනවා. මදුරුවන් ක්‍රමයෙන් ප්‍රතිරෝධය වර්ධනය වන බැවින් කෘමිනාශක අඛණ්ඩව භාවිතා කිරීම කිසිසේත් සුදුසු විකල්පයක් ලෙස සැලකිය නොහැකියි” සුමනසේන මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website