‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සුරේෂ් සලේ’ – දිලීප පීරිස් අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මැතිවරණයක් ඉලක්ක කරගෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ මෙහෙයවීමෙන් සිදුකර ඇති බවත්, ප්‍රහාරයේ මහ මොළකරු ඔහු යන්න පැහැදිලි වන බවත් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අධිකරණය හමුවේ අද (20) ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබිණි. ඒ අවස්ථාවේදී අත්අඩංගුවේ පසු වන සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

මෙහිදී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දක්වමින් සිය සේවාදායකයා මහෙස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බවත් ඒ සඳහා ඉඩ ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ, එලෙස ප්‍රකාශයක් ලබාදීම විමර්ශන අඩාල කිරීමේ උත්සාහයක් බවයි.

විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසුවේය, “ස්වාමීනි, අද දින පිටු 14ක දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ වාර්තාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවට ප්‍රකාශයක් සිදුකළ අසාත් මවුලානා නමැත්තාගෙන් ප්‍රංශයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගිහින් එහි ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවසේදී තමයි මේ ප්‍රකාශය සටහන් කර ගත්තේ. ඔහු එම ප්‍රකාශය තුළින් පාස්කු ප්‍රහාරය ගැන දීර්ඝ විස්තරයක් කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයට අනුව තුවාන් සුරේෂ් සලේ මේ ප්‍රහාරයේ මහ මොළකරු වශයෙන් කටයුතු කර තිබෙන බව පැහැදිලි වෙනවා. දේශපාලන අවශ්‍යතාවක් ඉටුකිරීම සඳහා යි එය කර තිබෙන්නේ,”

“ස්වාමීනි, අලියාර් හංදියේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සහරාන් හෂීම්ගේ කල්ලියේ සාමාජිකයෙක් වන සෙයිනි මවුලවි බන්ධනාගාරගත වෙනවා. මේ සෙයිනි මවුලවි කියන පුද්ගලයා සහ පිල්ලයාන් සිටින්නේ එක ම සිරකුටියේ. සෙයිනි මවුලවි පිල්ලයාන්ට ප්‍රකාශ කරනවා අපේ කණ්ඩායමේ ඉන්නවා මැරෙන්න සූදානම් පිරිසක් කියලා. මේ තොරතුර සැකකාර සුරේෂ් සලේට ආරංචි වෙනවා. ඔහු මේ මැරෙන්න කැමති කට්ටියගෙන් වැඩක් ගන්න කටයුතු කරනවා. ඒ අනුව තමයි සෙයිනි, සලේ සහ පිල්ලෙයාන් සම්බන්ධ වෙන්නේ. පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහරාන් හෂීම් ඇතුළු ස්වයංඝාතක ප්‍රහාරයකින් හය දෙනෙකු පුත්තලමේදී සුරේෂ් සලේ හමුවී සාකච්ඡා කරලා තිබෙනවා. පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදී සැකකාර සුරේෂ් සලේ අසාද් මවුලානාට ඇමතුමක් ලබා දෙනවා. ඇමතුමක් දීලා කියනවා ටාජ් සමුද්‍රා ඒක ළඟට ගිහිල්ලා එහි සිටින පුද්ගලයෙක්ව ගන්නා ලෙසට. ඔහුගේ දුරකතනය භාරයට ගන්න කියලත් කියනවා. ඒ පුද්ගලයා තමයි දෙහිවලදී බෝම්බයක් පුරවා ගත් ජමීල් නමැත්තා. මේ ජමීල් නමැති බෝම්බකරු අහිංසක පුද්ගලයෙකු බවට වරුණ ජයසුන්දර සඳහන් කර තිබෙනවා. ඒ නිසා අපි වරුණ ජයසුන්දර නමැති නිලධාරියා සම්බන්ධයෙනුත් විමර්ශනය කරනවා,”

“මේ ප්‍රහාරයෙන් පසුව මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අය මඩකලපුව බන්ධනාගාරයට ගිහින් පිල්ලෙයාන් හමුවෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී සතියකින් එළියට ගන්නා බවට ඔවුන් පිල්ලෙයාන්ට දැනුම් දෙනවා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා. ඉන්පසුව යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබූ සුරේෂ් සලේව සමස්ත රාජ්‍ය බුද්ධි සේවයේ ම ප්‍රධානියා වශයෙන් පත් කරනවා. එසේ කරන්නේ බුද්ධි තොරතුරු වෙනත් අංශ වෙත ගමන් කිරීම වැළැක්වීමට යි. සෙයිනි මවුලවි රක්ෂිත බන්ධනාගාරගත වුණා ම ඔහුට ඇප ගන්න රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් වැය කරනවා. ඒ මුදල ගෙවලා තිබෙන්නේ යුද හමුදා බුද්ධි අංශයෙන්. ස්වයංඝාතකයින් ආරක්ෂා කර ගන්න අපේ මහජන මුදල් වැය කර තිබෙනවා. එසේ කරලා තිබෙන්නේ මාස හයකින් එළඹෙන ඡන්දය තෙක් මෙම අන්තවාදී ක්‍රියා සම්බන්ධ තොරතුරු හෙළිදරව් වීම වැළැක්වීමට යි. පිල්ලෙයාන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එකට කටයුතු කර තිබෙනවා. එසේ කටයුතු කර තිබෙන්නේ රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නෙමෙයි. දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට හා ඝාතන සිදු කරන්නයි එසේ කටයුතු කරලා තිබෙන්නේ. අසාද් මවුලානාගේ ප්‍රකාශයෙන් හෙළිදරව් වෙලා තිබෙනවා පිල්ලෙයාන්ගේ කල්ලිය සහ යුද හමුදා බුද්ධි අංශය එක්ව සිදුකළ අපරාධ ගැන. මාධ්‍යවේදීන් වන ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම කීත් නොයාර්ට පහර දීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහර දීම වැනි කටයුතුවලට මෙම කල්ලි සම්බන්ධ වී තිබෙනවා. පිල්ලෙයාන්ගේ කල්ලියේ දෙදහකට අධික පිරිසකට යුද හමුදා බුද්ධි අංශයෙන් වැටුප් ගෙවා තිබෙනවා. ඒ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නෙවෙයි. දේශපාලන කොන්ත්‍රාත් කරන්න යි මේ වගේ දේවල් කරලා තියෙන්නේ. මෙවැනි ක්‍රියා වැළැක්වීමට කටයුතු කරන්න කියලා මම යුද හමුදාපතිවරයාට ලිඛිතව දැනුම් දීලා තිබෙනවා. මෙවැනි ක්‍රියා දිගට ම සිදුවුණොත් යුද හමුදාපතිවරයාවත් සැකකරුවෙක් හැටියට අධිකරණයට ගේන්න වෙනවා තොරතුරු වසන් කිරීම සම්බන්ධව. පාස්කු ප්‍රහාරයෙන් පසුව අසාත් මවුලානාගේ පවුලේ අයව අහුන්ගල්ලේ හෝටලයකට ගෙන්වාගෙන තිබෙනවා. සුරේෂ් සලේ විසින් තමයි එය කර තිබෙන්නේ. තානාපති කාර්යාලයේ රැකියාවක් ලබා දෙන බවටත් ඔහුට සඳහන් කර තිබෙනවා. මේ හෝටලේ ලොග් පොත්වල සටහන් සියල්ල අපි ලබාගෙන තිබෙනවා.”

“ස්වාමීනි, රැඳවුම් භාරයේ පසුවන සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම තරයේ විරුද්ධ වෙනවා. ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වෙලා තිබෙනවා. මේක ඔහුට වේදිකාවක් කර ගන්න ඉඩ දෙන්න බෑ. මේ දවස් වල පුද්ගලයින් අභිරහස් ආකාරයට මිය යනවා. ඒ නිසා මේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් කළ නියෝගය ඉවත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. සැකකාර සුරේෂ් සලේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ එකසිය විසි හත් වන වගන්තිය යටතේ මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලා තිබෙනවා. මේක මේ විමර්ශනය අඩාළ කරන්න කරනු ලබන උත්සහයක්. සංවිධානාත්මක කල්ලියකට අවශ්‍ය වෙලා තිබෙනවා මේ විමර්ශනය අඩාළ කරන්න. මේ විමර්ශනය නවත්වන්නයි බලාගෙන ඉන්නේග කිසිදු සැකයක් නෑ. සුරේෂ් සලේ තමයි පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන ග්‍රහයා. ඔහු වටේ තමයි අනෙකුත් ග්‍රහයින් කැරකිලා තියෙන්නේ. සුරේෂ් සලේ මේ ක්‍රියාව කළේ කා වෙනුවෙන් ද? ඒ ගැනත් අපි පරීක්ෂණය කරනවා. පරීක්ෂණ කරලා ඊට වගකිව යුතු ප්‍රධාන පුද්ගලයින් නීතිය ඉදිරියට ගේන්න අපි කටයුතු කරනවා. පාස්කු ප්‍රහාරයට පෙර මේ ප්‍රහාරය එක්කෝ උතුරු පළාතේ හමුදා කණ්ඩායමක් කේන්ද්‍ර කරගෙන කරන්න සූදානම් කරලා තිබුණා. ඒ වගේ ම දකුණේ සමූල ඝාතනයක් සිදු කරන්නත් සැලසුම් කරලා තිබුණා. පසුව මොවුන් ඒ සැලසුම් දෙක ම අතහැරලා තමයි පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය කටයුතු කළේ. මාස හයකින් එළැඹීමට නියමිත ඡන්දයක් ඉලක්ක කරගෙන සැකකාර සුරේෂ් සලේගේ මෙහෙයවීමෙන් තමයි මෙම ක්‍රියාව සිදුවෙලා තිබෙන්නේ,”

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු අදාළ බෝම්බ ප්‍රහාරයෙන් අගතියට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රැඳවුම් නියෝග මත රඳවාගන සිටින මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සුදුසු නොවන බව ප්‍රකාශ කළේය.

සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා රැඳවුම් භාරයේ පසුවන සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙසට පැමිණිල්ල විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ජූලි මස 01 වනදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අවසර ලබාදෙන ලෙස සුරේෂ් සලේ මහතා කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත්කරන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website