ලංකා – ජපාන අන්තර් රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති සංවාදය” (Intergovernmental Economic Policy Dialogue) ඊයේ (16) මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස, දෙරටේ අදාළ අමාත්‍යාංශ අතර ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ සහයෝගීතා ගිවිසුමක් (Memorandum of Cooperation – MoC) අත්සන් තැබීම සහ හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරරාජා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන අතිරේක ලේකම් (ද්විපාර්ශ්වික ආර්ථික කටයුතු) දර්ශන එම්. පෙරේරා මහතා ගිවිසුමට අත්සන් තැබූහ.
ජපාන රජය වෙනුවෙන් ජපාන ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය මත්සුඕ තකෙහිකෝ (Matsuo Takehiko) මහතා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග ආසියානු අංශයේ අධ්‍යක්ෂ මුරෝතානි මසකත්සු (Murotani Masakatsu) මහතා අත්සන් තැබූහ.
මෙම ප්‍රතිපත්ති සංවාදයේදී දෙරට අතර ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා වූ මාර්ග සිතියම (Roadmap) පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්තිය සහ සෘජු විදේශ ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින අවස්ථා පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කෙරිණි.
කාර්මික කොරිඩෝවක් (Industrial Corridor) නිර්මාණය කිරීම සඳහා වූ මාර්ග සිතියම සහ ශ්‍රී ලංකාවේ අපනයන ධාරිතාව පිළිබඳ සමීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමද සිදු විය. ශ්‍රී ලංකාව තුළ ජපන් සමාගම් සඳහා පවතින ව්‍යාපාරික වටපිටාව පිළිබඳව ජෙට්‍රෝ (JETRO) ආයතනය විසින් වාර්තාවක් ඉදිරිපත් කළ අතර Itochu සහ Mitsui වැනි ප්‍රමුඛ ජපන් සමාගම් සිය ව්‍යාපාරික අත්දැකීම් ඉදිරිපත් කළහ.
මෙම අවබෝධතා ගිවිසුම සහ ප්‍රතිපත්ති සංවාදය මගින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ ආර්ථික සහයෝගීතාව නව යුගයකට පිවිසෙනු ඇතැයි දෙරටේ නියෝජිතයෝ මෙහිදී විශ්වාසය පළ කළහ














