මිරිහාන පොලිස් වසම ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ත්‍රීරෝද රථ සොරකම් කිරීමේ නිරත වූ සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 2025 දෙසැම්බර් 28 වන දින මිරිහාන ප්‍රදේශයෙන් වාර්තා වූ ත්‍රීරෝද රථ සොරකමක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරුවන් කොටු කර ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අවුරුදු 30, 32 සහ 46 යන වයස්වල පසුවන කැලණිය, අම්බලන්තොට සහ පරකඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
ඉකුත් ජනවාරි 10 වන දින අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලද තොරතුරු මත ඊට පසුදින තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සන්තකයේ තිබී කුරුවිට ප්‍රදේශයේ සඟවා තිබූ එක් ත්‍රීරෝද රථයක් මුලින්ම සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු මත යටියන්තොට, බලංගොඩ, බදුල්ල සහ බත්තරමුල්ල යන ප්‍රදේශවලින් සොරාගන්නා ලද තවත් ත්‍රීරෝද රථ 10ක් පොලිස් භාරයට ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ.












