කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (09) දින ප.ව. 2.00 ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය, 2026 ජනවාරි 9 දින ප.ව. 1.00 වන විට මඩකලපුව සිට කිලෝමීටර් 160 ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබුණි. එය වයඹ දෙසට ගමන් කර හෙට (2026 ජනවාරි 10) දින පෙ.ව. 11.30 ත් ප.ව. 5.30 ත් අතර කාලයේදී ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.
දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතී. උතුරු පළාතෙත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි අතර වයඹ, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැ.කි.මී. (70) දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැක. වයඹ, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) දක්වා වන තරමක තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.












