දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් සත්ත්ව ගොවිපළකට රුපියල් ලක්ෂ දෙකක දිරිගැන්වීමේ දිමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ.කේ. සරත් මහතා පවසයි.
පශු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි කර ඇති සත්ත්ව ගොවිපළවල් සඳහා මෙම දීමනාව ලබා දෙන බව ද ඔහු පැවසීය. ඊයේ (08) කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව හෙළි කළේය.
ගොවිපළවල ඇතිකළ සතුන් මිය යාම, ගොවීන් නඩත්තු කළ තෘණ වගාවට සිදු වූ හානි සහ සත්ත්ව ගාල්වලට සිදු වී ඇති පූර්ණ හෝ අර්ධ හානිවලට මෙම මුදල ලබා දෙන බව ද සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ.කේ. සරත් මහතා සඳහන් කළේය.
මෙම දීමනාව කිරි නිෂ්පාදන ආයතනයට හෝ එහි උපකරණවලට සිදු වු හානිවලටද උපරිම සීමාවට යටත්ව ගණනය කිරීමෙන් පසුව ලබා දෙන බව ද ඔහු පැවසුවේය
අදාළ අයදුම් පත්‍රය ළඟම ඇති පශු වෛද්‍ය කාර්යාලයෙන් හෝ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් ලබා ගත හැකි බවත්, එය හැකි ඉක්මනින් ළඟම ඇති පශු වෛද්‍ය කාර්යාලයට භාර දීමට කටයුතු කරන ලෙසත් ඒ මහතා පශු ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය.
අයදුම් පත්‍ර ලබා ගැනීමට අපහසු නම් ක්ෂණික දුරකථන අංක 1918 හෝ පශු වෛද්‍ය නිලධාරි මාලක මහතා (071- 4145242 ) සම්බන්ධ කර ගන්නා ලෙස ද ඔහු වැඩි දුරටත් ඉල්ලා සිටියේ.










