අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි – යුද හමුදාපති

බස්නාහිර පළාත තුළ ඇතිවිය හැකියි පැවසෙන ආපදා තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හමුදා භට පිරිස් 7989ක් සූදානමින්යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ

බස්නාහිර පළාත තුළ ඇතිවිය හැකියි පැවසෙන ආපදා තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතු වෙනුවෙන්  හමුදා භට පිරිස් 7989ක ප්‍රමාණයක් සූදානම් කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පැවසීය.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන් මුදා ගැනීමේ සහ ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාව මගින් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන  බවත් ඒ අනුව දිවයින පුරා යොදවා තිබෙන භට පිරිස් 24,156 දෙනෙක් විසින් පුද්ගලයන් 2453 දෙනෙකුගේ ජීවිත බේරා ගනිමින් 5400ක පිරිසක්  ආරක්ෂිත ස්ථානවලට යොමු කරනු ලැබ තිබෙන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

මෙම මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා යුද හමුදා සන්නද්ධ රථ 23ක්, බෆල් රථ 60ක් සහ බෝට්ටු  32ක් යොදවා තිබෙන බවත් අවශ්‍ය මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානා 07ක් මේ වන විට පලාලි, රත්මලාන, කටුනායක සහ වීරවිල යන කඳවුරුවල සූදානම් කර තිබෙන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

මීට අමතරව දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 488ක රඳවා සිටින පුද්ගලයන් 43,925 දෙනෙක් වෙනුවෙන් අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් පහසුකම් සැලසීමේ ක්‍රියාන්විත අඛණ්ඩව ක්‍රියාත්මක  බවත්  බදුල්ල, පල්ලෙකැලේ, දිගන, මරදාන, කැලණිමුල්ල සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල ආහාර පිළියෙළ කිරීමේ ස්ථාන 08ක් හමුදාව විසින් ස්ථාපිත කර තිබෙන අතර ඊට අමතරව සෑම කඳවුරකම ආහාර පිසීමේ ස්ථාන අවතැන්වූවන් වෙනුවෙන් ආහාර සකස් කිරීම සඳහා ලබා දී තිබෙන බවත් ප්‍රකාශ කළේය.

මේ අතර 2025-11-27 වන දින සිට 2025-11-29 දක්වා සිදු කළ ගුවන් හමුදා මෙහෙයුම් මගින් පුදගලයන් 71 දෙනෙක් බේරා ගැනීමට සමත් වී තිබෙන අතර අවතැන් වූවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර කි.ග්‍රැම් 2565ක් අවශ්‍ය ස්ථාන වෙත ගුවන් මගින් ප්‍රවාහනය කර තිබෙන බවද පැවසීය.

අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය උපකරණ තොගයක් සහ 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ ඉන්දීය ගුවන් හමුදාවේ  IL-76 යානය අද උදෑසන දිවයිනට පැමිණි අතර මේ වන විට කොළඹ වරායේ ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් INS වික්‍රාන්ත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ගුවන් යානා දෙකක් මේ වන විට ගම්පහ සහ කුලියාපිටිය යන ප්‍රදේශවල පවතින ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා  යොදවා තිබෙන බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website