
රුපියල් මිලියන 12,500ක් වැය කර කැබ් රථ මිලදී ගන්නේ මන්ත්‍රීවරුන්ට නොවන බවත් රාජ්‍ය නිලධාරීන් උදෙසා මේ වාහන මිලදී ගන්නා බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති මහාචාර්ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11) පැවසීය.
අයවැය දෙවැනි වර කියවීමේ තෙවැනි දින විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මෙසේ ද පැවසීය.‘‘රුපියල ස්ථාවර කර ගැනීමට අපි පියවර ගෙන තිබෙනවා. කොටස් වෙළෙඳ පොළ මේ වසරේ මුළුමණින්ම දිගටම වර්ධනය වීමක් පෙන්නුම් කළා. මේ සාධක දෙක පමණක් ගත්තත් ආර්ථික ස්ථාවර කිරීමට ආණ්ඩුව සාධනීය ලෙස මැදිහත්ව සිටින බව පෙන්නුම් කරනවා. වාහන මිලදී ගැනීම සම්බන්ධ ගැටලුව දිගටම සාකච්ඡා වෙනවා. රුපියල් මිලියන 12,500ක් වැය කර කැබ් රථ මිලදී ගන්නේ මන්ත්‍රීවරුන්ට නොවෙයි. රාජ්‍ය නිලධාරීන් උදෙසා මේ වාහන මිලදී ගන්නවා.
ක්ෂේත්‍ර රාජකාරීවල යෙදෙන නිලධාරීන් ඉතාම අඩු පහසුකම් සහිත පරණ වාහන භාවිත කරනවා. ඔවුන්ට කාර්යක්ෂමතාව වැඩි කරගැනීමට වාහන ලබාදීම කරනවා. වාහන මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ පළාත් පාලන ආයතනවලට අවශ්‍ය වාහන මිලදී ගැනීම් සිදු වෙනවා. ඇතැම් පළාත් පාලන ආයතනවලට වාහන මිලදී ගැනීම් සිදු කර තිබෙන්නේ 2015 වසරේදී . මීට වසර 10කට පෙර මිලදී ගෙන තිබෙන වාහන දැන් රටට බරක් වෙලා. මීට අමතරව යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමක් ද අපි සිදු කරනවා.
පරිපාලන සේවයට 193ක් බඳවා ගෙන තිබෙනවා. තවත් නිලධාරීන් 130ක් පමණ බඳවා ගැනීමට පියවර ගන්නවා. ක්‍රම සම්පාදන සේවාවට 146ක් බඳවා ගත්තා. තවත් 37ක් බඳවා ගැනීමට අනුමැතිය ගෙන තිබෙනවා. නිලධාරීන් හිඟය නිසා වැඩ නොකරන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. වැඩ නොකර සිටින්නේ නිලධාරී හිඟය නිසා මිස බය නිසා නොවෙයි.“











