එප්පාවල, ඇඳගල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 184යි, මිලිග්‍රෑම් 400ක් සමඟ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ විදුහල්පතිවරයා සහ තවත් සැකකරුවෙකු දින 7ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම මහේස්ත්‍රාත් ගයත්‍රි හෙට්ටිආරච්චි මහත්මිය අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අද (06) අවසර ලබා දුන්නාය.
අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයි මෙම නියෝගය කළාය.
මෙම සැකකරුවන් වන්නේ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ කටියාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු වන ජයන්ත බාලසූරිය සහ එප්පාවල, ඇඳගල, නල්ලමුදාව පාර පදිංචි එච්.ඒ. තරිඳු ධනංජය වික්‍රමසිංහය.
මෙම සැකකරුවන් දෙදෙනාගේ නමින් ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර විමර්ශන පොලිස් නිලධාරීන්ට ලබා දෙන ලෙසට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල කළමනාකාරීත්වයට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ ජංගම දුරකතනවලට අදාළ විශ්ලේෂණ වාර්තා විමර්ශන පොලිස් නිලධාරින්ට ලබා දෙන ලෙසට සියලු ම රාජ්‍ය සහ පෞද්ගලික දුරකතන සමාගම්වල කළමනාකාරීත්වයට නියෝග කළාය.
සැකකාර විදුහල්පතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ඔහුගේ නීතිඥයා පැවසුවේ සිය සේවාදායකයා සන්තකයේ හෙරොයින් තිබූ බවට පොලිසිය එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ය.











