සමහර වැව් රක්ෂිතයන්ට අදාළ ඉඩම්, යම් යම් පුද්ගලයන්ට පිරිනමා ඇත්තේ, පසුගිය කාලයේ රට පාලනය කළ ජනාධිපතිවරුන් බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී ලාල් කාන්ත මහතා ‘රතු ඉර’ වෙත ප්රකාශ කරයි.
වැව් රක්ෂිතවල ඉදිකළ ඉදිකිරීම් ඉවත් කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙලට දැන් කුමක් සිදුවී ඇත්දැයි අමාත්යවරයාගෙන් විමසීමේදී ඒ මහතා මෙසේ ප්රකාශ කළ අතර එහිදී ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින වැව් 300ක පමණ මායිම් ලකුණු කර නැති බවයි. ඒ අනුව මේ වනවිට මායිම් සලකුණු කිරීම සිදුකරගෙන යන බව ප්රකාශ කළ අමාත්යවරයා ඉන් අනතුරුව ඉදිරි පියවරයන් ගන්නා බව ප්රකාශ කරයි.
ස්වර්ණ භූමි, ජය භූමි, උරුමය වැනි ඔප්පු හරහා පසුගිය කාලයේ මෙම ඉඩම් ලබාදී ඇතැයි අමාත්යවරයා ප්රකාශ කරන අතර මේ පිළිබඳව පසුගිය දා උතුරු මැද පළාත් සභා ශ්රවණාගාරයේ පැවති අනුරාධපුර දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කරුණු අනාවරණය වූ අතර එහිදී ප්රකාශ වුණේ දිවයින පුරා පිහිටි වැව් 23ක රක්ෂිත කලාප තුළ දේශපාලනඥයන් විසින් නාන තටාක සහිත හෝටල් පවා ඉදිකර ඇති බවය.
මේ අතර අමාත්යවරයා ප්රකාශ කරන්නේ මේ වනවිට අනුරාධපුර නුවර වැවෙන් මෙම මැනුම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවයි.
කේ. සංජීව







