
ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සම්බන්ධයෙන් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා විමසීම රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු විය.
ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (23) රැස් වූ අවස්ථාවේදීය.
මෙහිදී සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සහ අදාළ පාර්ශ්වයන් විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ පවතින ගැටලු පිළිබඳව කාරක සභාවට කරුණු දැක්වූහ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් පැවතියද, ඒ වෙනුවට නව පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව සහ එහි අන්තර්ගතය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව ද මෙහිදී එම සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් පෙන්වා දෙන ලදී.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බව, පනත් කෙටුම්පත සම්පාදනය කළ කමිටුව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා ඇතුළු පොලිසියේ ඉහළ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා හමුදා නිලධාරීන් ඇතුළු වගකිවයුතු පාර්ශ්වයන් විසින් මෙහිදී අවධාරණය කරමින් කරුණු දක්වන ලදී.
පනත් කෙටුම්පත සකස් කිරීමේදී පුළුල් මහජන සහභාගීත්වයක් ලබා ගෙන ඇති බවත්, ඉදිරියේදී ද සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් සමග තවත් සාකච්ඡා වට කිහිපයක් පවත්වන බවත් කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.












