එක්සත් ජනපදයට ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට තානාපතිනියක් – කැනඩාවටත් මහ කොමසාරිස්වරියක්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා මහත්මිය ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවේ මීළඟ තානාපතිනිය ලෙස පත් කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඇය එම තනතුරට පත් කළහොත්, එය එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කාන්තාවක් පත් කරන ලද පළමු අවස්ථාව වනු ඇති බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසුවේය.

කැනඩාවේ මීළඟ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස රෝහණ අඹගොල්ල පත් කිරීමට නියමිත බව ද විදේශ අමාත්‍යවරයා පැවසීය.

වෘත්තීය ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරියෙකු වන රණරාජා මහත්මිය 2024 නොවැම්බර් 19 වන දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් ලෙස වැඩ භාර ගත්තාය.

විදේශ අමාත්‍යාංශයේ වසර 30කට ආසන්න සේවා කාලයක් ඇති ඇය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල දෙකෙහිම සේවය කර ඇති අතර, නෙදර්ලන්තයේ සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුළු විවිධ තනතුරු දරා ඇත.

ඇය රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW) ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙසද සේවය කළාය.

අරුණි රණරාජා මහත්මිය යුක්රේන රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ එම විශ්වවිද්‍යාලයෙන්ම ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධියක් ලබා ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website